ජනප්රිය ‘එක්ස්-ෆයිල්ස්’ (The X-Files) කතා මාලාවේ නිර්මාතෘ ක්රිස් කාටර්, 2008 වසරේ තිරගත වූ ‘The X-Files: I Want to Believe’ චිත්රපටයේ නව අධ්යක්ෂකවරයාගේ සංස්කරණයක් (Director’s cut) එළිදැක්වීමට සූදානම් වෙනවා. අගෝස්තු 14 වැනිදා හුලු (Hulu) හරහා නිකුත් වීමට නියමිත මෙම නව සංස්කරණය, මුල් චිත්රපටයට වඩා බෙහෙවින් වෙනස් සහ බියකරු අත්දැකීමක් ලබා දෙන බවයි ඔහු පවසන්නේ. මුල් චිත්රපටය නිර්මාණය කරන විට තමන්ට තිබූ දර්ශනය, චිත්රපට සමාගමේ බලපෑම් මත වෙනස් කිරීමට සිදුවූ බවත්, දැන් තමන්ට අවශ්ය ආකාරයටම එම බිහිසුණු දර්ශන ඇතුළත් කරමින් එය නිර්මාණය කිරීමට හැකි වූ බවත් කාටර් සඳහන් කරනවා.
මෙම නව සංස්කරණයට ‘Vrach Frankenshteyn’ යන නම එක් කර තිබෙනවා. එයින් අදහස් කෙරෙන්නේ රුසියානු බසින් ‘වෛද්ය ෆ්රැන්කන්ස්ටයින්’ යන්නයි. චිත්රපටයේ ඇති අවයව ජාවාරම් සහ අමුතු විද්යාත්මක පර්යේෂණ පිළිබඳ කතා පුවත, මුලින්ම සැලසුම් කළේ බියකරු චිත්රපටයක් ලෙසයි. නමුත් එදා තිබූ PG-13 සීමාවන් නිසා බොහෝ දර්ශන කපා හැරීමට සිදුවුණා. ඒ නිසාම මුල් චිත්රපටයේ මෝල්ඩර් සහ ස්කලීගේ සම්බන්ධතාවයට වැඩි අවධානයක් යොමු වුණත්, මෙවර නිකුත් වන සංස්කරණයෙන් ‘එක්ස්-ෆයිල්ස්’ රසිකයන් බලාපොරොත්තු වන සැබෑ අද්භූත සහ බිහිසුණු අත්දැකීම ලබාගන්න පුළුවන් වේවි. රසිකයන්ට මෙය අලුත්ම අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback