ඇමරිකානු රජය මේ දවස්වල අලුත්ම සැලැස්මක් ගැන කතා කරමින් ඉන්නවා. ඒ තමයි මුහුදේ පාවෙන වේදිකා මතින් වාණිජ රොකට් අභ්‍යවකාශයට යවන්න සහ නැවත ගොඩබෑමේ පහසුකම් ඇති කරන්න. ඇමරිකානු සාගර බලශක්ති කළමනාකරණ කාර්යාංශය (BOEM) මේ සඳහා පෞද්ගලික අංශයේ අදහස් විමසමින් ඉන්නවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ වෙරළ තීරයේ ඉඳන් කිලෝමීටර් 370ක් විතර ඈතින් තියෙන සාගර කලාපය රොකට් දියත් කිරීම් සඳහා යොදාගෙන, ඇමරිකාවේ අභ්‍යවකාශ කර්මාන්තය තවත් දියුණු කිරීමයි. මේ සඳහා දැනට තියෙන තෙල් සහ ගෑස් කැණීම් වේදිකා පවා යොදාගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
නමුත් මේ වැඩේට පරිසරවේදීන්ගෙන් එල්ල වෙන්නේ ලොකු විරෝධයක්. ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මියෝකෝ සකාෂිතා කියන විදිහට, මේකෙන් වෙන්නේ සාගරය තවත් කුණු ගොඩක් බවට පත්වෙන එකයි. රොකට් පිපිරීම් සහ අභ්‍යවකාශ සුන්බුන් නිසා වෙරළාසන්න සතුන්ට දැනටමත් ලොකු හානියක් වෙලා තියෙනවා. තවදුරටත් මේ වගේ දේවල් මුහුද මැද සිද්ධ වුණොත් තල්මසුන්, කැස්බෑවන් වගේ සාගර ජීවීන්ගේ පැවැත්මට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. මේක තෙල් සමාගම්වලට වාසි වෙන්න කරන වැඩක් මිසක් සාගරය ආරක්ෂා කරන්න කරන දෙයක් නෙවෙයි කියලයි ඔවුන් චෝදනා කරන්නේ.
මේ ව්‍යාපෘතිය ගැන අදහස් දක්වන්න අගෝස්තු 7 වෙනිදා වෙනකම් කාලය දීලා තියෙනවා. ඇමරිකාව තමන්ගේ අභ්‍යවකාශ බලය තහවුරු කරගන්න උත්සාහ කළත්, ඒ වෙනුවෙන් සාගර පරිසරය පාවා දීම කොයිතරම් දුරට සාධාරණද කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

Discussion & Feedback