ලෝක ප්රකට ෆේස්බුක් සමාගමේ අභ්යන්තර රහස් සහ එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිළිබඳව කතාබහට ලක්වන ‘ද සෝෂල් රෙකනින්’ (The Social Reckoning) චිත්රපටයේ අලුත්ම ට්රේලරය මේ වන විට නිකුත් වෙලා තියෙනවා. සුප්රසිද්ධ අධ්යක්ෂක ආරොන් සෝකින් විසින් නිර්මාණය කරන ලද මෙම චිත්රපටය, මීට වසර 16කට පෙර තිරගත වූ ‘ද සෝෂල් නෙට්වර්ක්’ චිත්රපටයේ තවත් එක් දිගුවක් විදිහට තමයි හඳුන්වන්නේ. ඔක්තෝබර් 9 වැනිදා සිට ලොව පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිත මෙම චිත්රපටය, වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පතේ හෙළිදරව් කිරීම් පාදක කරගෙන නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මෙම චිත්රපටයෙන් ෆේස්බුක් සමාගමේ හිටපු ඉංජිනේරුවරියක වන ෆ්රැන්සිස් හොගන්, සමාගමේ රහස් හෙළි කිරීමට ගන්නා උත්සාහය සහ ඒ වෙනුවෙන් ඇය මාධ්යවේදියෙකු සමඟ එක්ව සිදුකරන අභියෝගාත්මක ගමන ගැන කියැවෙනවා. මෙහි මාර්ක් සකර්බර්ග්ගේ චරිතයට පණ පොවන්නේ ජෙරමි ස්ට්රෝං වන අතර, ෆ්රැන්සිස් හොගන්ගේ චරිතයට මයිකි මැඩිසන් රංගනයෙන් දායක වෙනවා. සමාජ මාධ්යවලින් සමාජයට සිදුවන බලපෑම් සහ එහි අඳුරු පැතිකඩ පිළිබඳව ඉතා සංවේදී ලෙස මෙම චිත්රපටය තුළින් විග්රහ කරන බව ට්රේලරය නරඹන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.
චිත්රපටය පිළිබඳව ප්රේක්ෂකයන් අතර දැනටමත් ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම ෆේස්බුක් සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ නීතිමය ගැටලු සහ සමාජ මාධ්යවලින් තරුණ පරපුරට සිදුවන බලපෑම් ගැන කතාබහක් ඇති වී තිබෙන මොහොතක, මෙම චිත්රපටය තිරගත වීම ඉතා කාලෝචිත බවයි බොහෝ දෙනා පවසන්නේ. ජෙරමි ස්ට්රෝංගේ රංගන කුසලතාවය සහ ආරොන් සෝකින්ගේ තිර රචනය නිසා මෙම චිත්රපටය සිනමා ලෝලීන් අතර අනිවාර්යයෙන්ම කතාබහට ලක්වන නිර්මාණයක් වේවි.

Discussion & Feedback