නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ තිබෙන දුරේක්ෂයක් ඉහළ කක්ෂයකට රැගෙන යාම සඳහා යොදාගත් ‘කැටලිස්ට් ස්පේස්’ (Katalyst Space) සමාගමේ රොබෝ යානය මේ වන විට පාලනයෙන් ගිලිහී අභ්‍යවකාශයේ කැරකෙමින් පවතින බව වාර්තා වෙනවා. 2004 වසරේදී අභ්‍යවකාශගත කළ ‘නීල් ගෙරල්ස් ස්විෆ්ට්’ (Neil Gehrels Swift) නමැති මෙම දුරේක්ෂය පෘථිවිය දෙසට ඇදී ඒම නිසා, එය නැවත ඉහළ කක්ෂයකට තල්ලු කිරීම සඳහා පසුගිය ජූලි 3 වැනිදා මෙම රොබෝ යානය අභ්‍යවකාශගත කළා. කෙසේ වෙතත්, යානයේ තිබූ ප්‍රතික්‍රියා රෝද තුනෙන් දෙකක්ම අක්‍රිය වීම සහ තෙරපුම් පද්ධතියේ ඇති වූ දෝෂ හේතුවෙන් යානය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.
මේ වන විට පාලක මැදිරියේ සිටින ඉංජිනේරුවන් උත්සාහ කරන්නේ යානයේ ඉතිරිව ඇති තෙරපුම් පද්ධති භාවිත කරමින් එහි කැරකැවීම නතර කර ගැනීමටයි. දැනටමත් ඔවුන් ඒ සඳහා පියවර ගනිමින් සිටින අතර, යානය සමඟ ඇති සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ දරනවා. මෙම මෙහෙයුම අභියෝගාත්මක බවත්, ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණය කළ යානයක් නිසා මෙවැනි අවදානම් ඇති විය හැකි බවත් සමාගම පවසනවා. නාසා ආයතනය පෞද්ගලික සමාගමකට මෙවැනි කාර්යයක් පැවරූ පළමු අවස්ථාව මෙය වන අතර, යානය නැවත පාලනයට නතු කර ගත් පසු මෙහෙයුම ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව නාසා ආයතනය තීරණය කරනු ඇති.

Discussion & Feedback