සිරියාවේ හිටපු පාලක බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳ වැටීමත් සමඟ, එරට බියකරුම ඔත්තු සේවා ප්‍රධානියෙකු වූ හුසාම් ලූකා හෙවත් ‘මකුළුවා’ අතුරුදහන් වුණා. ඔහු පදිංචිව සිටි සුඛෝපභෝගී නිවසේ සෝදිසි මෙහෙයුම් සිදුකළ කැරලිකරුවන්ට එහි තිබී ඔහුගේ ඡායාරූප සහ රන් පදක්කම් රැසක් හමුවුණා. නමුත් වඩාත්ම වැදගත් දේ වුණේ එහි තිබූ කුඩා අත්පොතක්. එම පොතේ වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන් සහ හමුදා නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ නම් සහ දුරකථන අංක සටහන් කර තිබුණා. මේ අත්පොත හරහා ‘මකුළුවා’ සැඟවී සිටින තැන සොයා ගැනීමට හැකි වේවිද යන්න දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ලූකා කියන්නේ සිරියානු සිවිල් යුද්ධයේදී දහස් ගණනක් මිය යාමට සහ වධහිංසාවලට වගකිව යුතු බවට චෝදනා ලැබූ පුද්ගලයෙක්. විශේෂයෙන්ම 2015 වසරේදී සිදුවූ ළමා සමූලඝාතනයට ඔහු සම්බන්ධ බවට බටහිර රටවල් පවා චෝදනා කරනවා. ඔහු තමන්ගේ බලය පතුරුවා හැරියේ ඉතාම සූක්ෂම ලෙසයි. අසරණ ජනතාවට ආරක්ෂිතව පිටවීමට අවස්ථාව ලබා දෙන බව පවසමින් දුරකථන අංක ප්‍රචාරය කළත්, ඒ හරහා සම්බන්ධ වූ බොහෝ දෙනෙකු අතුරුදහන් වුණා. අද වන විට ඔහු කොහේ සැඟවී සිටිනවාද යන්න කිසිවෙකුත් දන්නේ නැහැ. කෙසේ වෙතත්, ඔහු අතහැර දමා ගිය මේ අත්පොත ඔහුගේ අපරාධ පිළිබඳ තවත් බොහෝ රහස් හෙළි කරගන්නට ඉඩ සලසන බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback