ලෝක ප්රසිද්ධ ස්ටාර් වෝර්ස් (Star Wars) සිනමා පටය තිරගත වෙලා 2027 වසරට වසර 50ක් පිරෙනවා. මේ සුවිශේෂී සංවත්සරය සමරන්න ඩිස්නි සහ ලූකස් ෆිල්ම් ආයතන එකතු වෙලා තීරණය කරලා තියෙනවා මුල්ම ස්ටාර් වෝර්ස් චිත්රපටය ප්රථම වතාවට අයිමැක්ස් (IMAX) තිරවල ප්රදර්ශනය කරන්න. මේක රසිකයන්ට ලැබෙන හරිම අපූරු අවස්ථාවක්. විශේෂයෙන්ම කිසිම අමතර සී.ජී.අයි (CGI) තාක්ෂණයක් හෝ වෙනස්කම් නැතිව, මුල්ම චිත්රපටයේ අත්දැකීමම අයිමැක්ස් 70mm තිරවලින් විඳගන්න පුළුවන් වෙනවා. මේ චිත්රපටය 2027 පෙබරවාරි 19 වැනිදා සිට සීමිත අයිමැක්ස් සිනමාහල් කිහිපයකදී නැවත ප්රදර්ශනය කිරීමට නියමිතයි.
මේ අතරතුර, ස්ටාර් වෝර්ස් රසිකයන්ට තවත් සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි රයන් ගොස්ලින් රංගනයෙන් දායක වන ‘ස්ටාර් වෝර්ස්: ස්ටාර් ෆයිටර්’ (Star Wars: Starfighter) නව චිත්රපටය 2027 මැයි 28 වැනිදා තිරගත වීම. ෂෝන් ලෙවී අධ්යක්ෂණය කරන මේ චිත්රපටය සම්පූර්ණයෙන්ම අයිමැක්ස් කැමරා භාවිතයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිසා අයිමැක්ස් තිරයකදී මේ චිත්රපටය නරඹනකොට හරිම වෙනස් සහ උසස් සිනමා අත්දැකීමක් ලබාගන්න පුළුවන් වේවි. ස්ටාර් වෝර්ස් ලෝලීන්ට නම් 2027 වසර ඇත්තටම හරිම විශේෂ වසරක් වෙයි කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

Discussion & Feedback