ලෝකයේම රසිකයන්ගේ ආදරය දිනාගත් ජනප්රියම ඇමරිකානු විකට කතාමාලාවක් වන ‘ද ඔෆිස්’ (The Office) ගැන රසිකයන්ට ලැබුණු සුපිරි ආරංචියක් තමයි මේ. මීට වසර 21කට පෙර ආරම්භ වුණු මේ කතාමාලාව අදටත් ලොව පුරා මිලියන ගණනක් රසිකයන් නරඹනවා. ඉතින්, මුල් විකාශනයේදී අපිට බලාගන්න බැරි වුණු අලුත්ම දර්ශන පෙළක් සමඟින්, ‘ද ඔෆිස් සුපර්ෆෑන් එක්ස්ටෙන්ඩඩ් එපිසෝඩ්ස්’ (The Office Superfan Extended Episodes) නමින් විශේෂ එකතුවක් තව සති දෙකකින් එළිදැක්වීමට නියමිතයි. මේ නවතම එකතුව ජූලි 14 වැනිදා සිට ඩිජිටල් සහ බ්ලූ-රේ (Blu-ray) මාධ්ය ඔස්සේ රසිකයන්ට ලබාගන්න පුළුවන්.
මේ නවතම එකතුව තුළ මුල් කතාමාලාවේ නොතිබුණු පැය 25ක පමණ අලුත් දර්ශන සහ මීට පෙර කපා හැරුණු විහිළු තහළු ඇතුළත් වෙනවා. මුළු කථාංග 194ක් පුරා දිවෙන මේ විශේෂ සංස්කරණය, ‘ද ඔෆිස්’ රසිකයන්ට අත්විඳිය හැකි වඩාත්ම සම්පූර්ණ සහ විනෝදජනක අත්දැකීම වනු ඇති බවයි නිෂ්පාදකයන් පවසන්නේ. විශේෂයෙන්ම, 2020 වසරේදී නිකුත් වුණු සුපර්ෆෑන් කථාංගවලට වඩා වැඩි දර්ශන ප්රමාණයක් මෙහි අන්තර්ගත වීම විශේෂත්වයක්.
කතාමාලාව අවසන් වී වසර 12ක් ගත වුවත්, අදටත් මෙහි ඇති ජනප්රියත්වය කොතරම්ද කියනවා නම්, මෙවැනි අලුත් දර්ශන නිකුත් කිරීමට තරම් රසික පිරිසක් තවමත් සිටිනවා. ඒ විතරක් නෙවෙයි, ‘ද ඔෆිස්’ ආභාෂයෙන් නිර්මාණය වුණු ‘ද පේපර්’ (The Paper) කතාමාලාවත් මේ වන විට ඉතා සාර්ථකව ඉදිරියට යනවා. ඉතින්, ඔබත් ‘ද ඔෆිස්’ රසිකයෙක් නම්, මේ අලුත් දර්ශන පෙළ නැරඹීමට තවත් දින කිහිපයක් පමණයි ඉතිරිව තිබෙන්නේ.

Discussion & Feedback