ප්රවීණ අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ වන විට ලොව පුරා සිනමාහල්වල දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගනිමින් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායම් සීමාව පසු කිරීමට සමත් වෙලා තියෙනවා. මැට් ඩේමන් ප්රධාන චරිතයට පණ පොවන මේ චිත්රපටය, නිකුත් වී සති තුනක් වැනි කෙටි කාලයක් තුළදී ඩොලර් බිලියන 1.008ක ආදායමක් උපයා ගනිමින් සිනමා ඉතිහාසයට එක් වුණා. විශේෂයෙන්ම, කොමික් චරිත මත පදනම් නොවූ පළමු ‘R-rated’ චිත්රපටය ලෙසත්, බැට්මෑන් චිත්රපට මාලාවෙන් පිටත නෝලන් අධ්යක්ෂණය කළ පළමු බිලියන ඩොලර් චිත්රපටය ලෙසත් මෙය වාර්තා පොත් අතරට එකතු වීම කැපී පෙනෙන කරුණක්.
මෙම වසරේ සිනමා කර්මාන්තයට එතරම් සාර්ථක නොවන කාලයක් උදා වුණත්, ‘ද ඔඩිසි’ චිත්රපටය ලැබූ මෙම ජයග්රහණය සිනමා ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 250ක දැවැන්ත වියදමක් දරා නිෂ්පාදනය කළ මෙම චිත්රපටය, මේ වන විට 2026 වසරේ වැඩිම ආදායම් ලැබූ පස්වන චිත්රපටය බවට පත්වෙලා තියෙනවා. ඉදිරියේදී තවත් විශාල චිත්රපට කිහිපයක්ම තිරගත වීමට නියමිත නිසා, 2026 වසර සිනමා ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වසරක් බවට පත්වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. නෝලන්ගේ සිනමා මායාව නැවත වරක් ලොව පුරා රසිකයන් වැළඳගෙන ඇති බව නම් මේ දත්තවලින් පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා.

Discussion & Feedback