අපේ පෘථිවිය වටා භ්රමණය වන සඳ මතුපිට අතීතයේ සිදුවූ සුපර්නෝවා පිපිරීම් පිළිබඳ තොරතුරු සැඟවී තිබෙන බව විද්යාඥයන් සොයාගෙන තියෙනවා. තරු පුපුරා යාමේදී පිටවන විකිරණශීලී දූවිලි අංශු අභ්යවකාශය පුරා විසිරී යන අතර, ඒවා පෘථිවියට සහ සඳටත් පතිත වෙනවා. පෘථිවියේ නම් භූගෝලීය වෙනස්කම් සහ කාලගුණික බලපෑම් නිසා මෙවැනි පැරණි සාක්ෂි විනාශ වී යනවා. නමුත් සඳ මත වායුගෝලයක් හෝ භූ තැටි චලනයන් නොමැති නිසා, වසර මිලියන 80කට හෝ 100කට එහා ගිය අතීතයක් එහි තැන්පත්ව තිබෙන්න පුළුවන්.
කෙසේ වෙතත්, සඳ මතුපිටට නිරන්තරයෙන් උල්කාපාත කඩා වැටීම නිසා එහි පස් තට්ටු නිතරම පෙරළෙනවා. මෙය විද්යාඥයන් හඳුන්වන්නේ ‘ඉම්පැක්ට් ගාඩනින්’ (impact gardening) කියලයි. මේ නිසා සුපර්නෝවා දූවිලි අංශු පස් සමඟ මිශ්ර වී තිබෙනවා. මේ ගැටලුව විසඳන්න හවායි විශ්වවිද්යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් අලුත් පරිගණක ආකෘතියක් නිර්මාණය කර තිබෙනවා. මේ ආකෘතිය මගින් සඳේ පස් තට්ටු අතර සැඟවී ඇති එම දූවිලි අංශු වෙන් කර හඳුනාගෙන, අතීතයේ සිදුවූ සුපර්නෝවා පිපිරීම්වල කාලවකවානු නිවැරදිව ගණනය කරන්න පුළුවන්.
මේ පර්යේෂණය හරහා අපේ සෞරග්රහ මණ්ඩලය මන්දාකිණිය හරහා ගමන් කරන විට අතීතයේ සිදුවූ විශ්වීය සිදුවීම් ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගන්න විද්යාඥයන්ට හැකි වෙනවා. ඇපලෝ මෙහෙයුම්වලදී ලබාගත් පස් සාම්පල සහ පෘථිවියේ ගැඹුරු මුහුදු පතුලේ ඇති සාධක සමඟ මෙම නව ආකෘතියේ ප්රතිඵල ඉතා හොඳින් ගැලපෙන බවත් ඔවුන් තහවුරු කරගෙන තියෙනවා. මේක ඇත්තටම විශ්වයේ ඉතිහාසය කියවන්න පුළුවන් අපූරු ක්රමයක්.

Discussion & Feedback