ජනප්රිය නෙට්ෆ්ලික්ස් කතාමාලාවක් වන ‘ද ජෙන්ට්ල්මන්’ (The Gentlemen) හි තුන්වන අදියර සඳහා මේගන් මාකල් රංගනයෙන් එක්වන බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් එහි ප්රධාන නළු තියෝ ජේම්ස් සිය අදහස් පළ කර තිබෙනවා. මේගන් මාකල් මෙම කතාමාලාවට සම්බන්ධ වීමේ ඉඩකඩ ඉතා අඩු බවයි ඔහු පවසන්නේ. දැනට දෙවන අදියරේ සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, තුන්වන අදියර ගැන කතා කිරීමට තවමත් කල් වැඩි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත්, නෙට්ෆ්ලික්ස් ආයතනය මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්රකාශයක් සිදු කර නොමැති නිසා රසිකයන් තවමත් මේ ගැන දැඩි උනන්දුවකින් පසුවනවා.
මේ අතර, ‘ද ජෙන්ට්ල්මන්’ දෙවන අදියර අද සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය ආරම්භ වුණා. මෙවර කතාව දිවෙන්නේ එඩී සහ සුසී තම අපරාධ ජාලය ඉතාලිය දක්වා ව්යාප්ත කිරීමට උත්සාහ කරන ආකාරය වටායි. ඉතාලි මාෆියාව සහ එරට පැරණි වංශාධිපති පවුල් සමඟ ගැටෙන එඩී, බෙනෙඩෙට්ටා පොරකාරෝලි රඟපාන චරිතය සමඟ ආදරයෙන් බැඳෙනවා. මුලදී ඉතාලි පසුබිම ගැන යම් පැකිලීමක් තිබුණත්, ගයි රිචීගේ අධ්යක්ෂණය යටතේ මෙවර කතාමාලාවට අලුත් ආදරණීය සහ ආකර්ෂණීය බවක් එක්ව ඇති බවයි නළු නිළියන් පවසන්නේ.
සුසී ලෙස රඟපාන කයා ස්කොඩෙලාරියෝ පවසන්නේ, දෙවන අදියරේදී ඔවුන්ගේ ව්යාපාරය ඉතා සාර්ථක වුවත්, එඩීගේ වෙනස් වන හැසිරීම් රටාව නිසා සුසීට ගැටලු මතු වන බවයි. එඩී සහ සුසී අතර ඇතිවන මෙම බල අරගලය සහ ව්යාපාරික අභියෝග කතාමාලාව පුරාම දැකගන්න පුළුවන්. මේ නිසාම ‘ද ජෙන්ට්ල්මන්’ රසිකයන්ට මෙවර අලුත් අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි.

Discussion & Feedback