ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත්ත ‘ද ෆැමිලි ස්ටෝන්’ (The Family Stone) චිත්රපටයේ දෙවන කොටසක් නිර්මාණය වෙන්න යනවා කියන පුවත මේ දවස්වල සිනමා ලෝකයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ‘ද ෆැමිලිස් ස්ටෝන්’ (The Families Stone) ලෙස නම් කරලා තියෙන මේ අලුත්ම චිත්රපටයේ විශේෂත්වය තමයි මුල් චිත්රපටයේ රඟපෑ ක්ලෙයාර් ඩේන්ස්, රේචල් මැක්ඇඩම්ස්, සාරා ජෙසිකා පාකර් සහ ලූක් විල්සන් ඇතුළු ප්රධාන නළු නිළියන් බොහෝ දෙනෙක් නැවතත් එකතු වීම. කෙසේ වෙතත්, මුල් චිත්රපටයේ මවගේ චරිතයට පණ පෙවූ ඩයෑන් කීටන් මියගොස් සිටීම නිසා ඇය මේ නිර්මාණයට එක්වෙන්නේ නැහැ.
මෙම නවතම චිත්රපටයේ කතාව ගෙතෙන්නේ මුල් චිත්රපටයෙන් වසර විස්සකට පසුවයි. පවුලේ පියා වන කෙලී ස්ටෝන් තමන් ආදරය කරන නව කාන්තාවක් පවුලේ අයට හඳුන්වා දීමට සූදානම් වීමත් සමඟ ඇතිවන සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගත වෙනවා. මුල් චිත්රපටය අධ්යක්ෂණය කළ ටොම් බෙසුචාම නැවතත් මෙහි අධ්යක්ෂණය භාරගෙන තිබෙනවා. නිව්යෝර්ක් නුවරදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත මෙම චිත්රපටය, නත්තල් සමයේ සිනමා ලෝලීන්ට ලැබෙන අපූරු තෑග්ගක් වේවි.
2005 වසරේ තිරගත වුණු ‘ද ෆැමිලි ස්ටෝන්’ චිත්රපටය ඒ කාලයේ ලොකු ආදායමක් වාර්තා කළ අතර, අදටත් නත්තල් සමයේදී බොහෝ දෙනෙක් නැරඹීමට ප්රිය කරන චිත්රපටයක්. ඒ නිසාම මේ දෙවන කොටස ගැන රසිකයින් ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්. පවුලේ බැඳීම් සහ ආදරය මුසු වුණු මේ සුන්දර කතාව නැවතත් තිරයේ දකින්න ලැබීම සතුටට කරුණක්.

Discussion & Feedback