අපේ ක්ෂීරපථ මන්දාකිණිය අතීතයේදී තවත් කුඩා මන්දාකිණි ගිල දමමින් තම වර්ධනය සිදුකර ගත් බව විද්යාඥයන් මීට පෙරත් දැනගෙන හිටියා. නමුත් දැන් තාරකා විද්යාඥයන් කණ්ඩායමක් විසින් ක්ෂීරපථයේ හදවතේ සැඟවී තිබූ ඉතා පැරණි ‘කැලලක්’ සොයාගෙන තියෙනවා. මේකෙන් කියවෙන්නේ මීට වසර බිලියන 12කට පමණ පෙර අපේ මන්දාකිණිය තවත් කුඩා මන්දාකිණියක් ගිල දැමූ බවයි. ARMA ව්යාපෘතිය යටතේ හබල් අභ්යවකාශ දුරේක්ෂයේ දත්ත භාවිත කරමින් සිදුකළ මේ පර්යේෂණයෙන්, මීට පෙර දැනගෙන හිටපු පැරණිතම සිදුවීමටත් වඩා වසර බිලියන 1.8කට පෙර සිදු වූ මේ අභ්යවකාශ ගැටුම ගැන තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් වුණා.
මේ පර්යේෂණය මෙහෙයවූ ඉතාලි තාරකා විද්යා ආයතනයේ දාවිදේ මසාරි පවසන විදිහට, ඔවුන් මේ සඳහා යොදාගත්තේ ගෝලාකාර තරු පොකුරු (globular clusters) කිහිපයක්. මේ තරු පොකුරු වල වයස සහ ඒවායේ අඩංගු ලෝහ ප්රමාණය විශ්ලේෂණය කිරීමෙන්, ඒවා ක්ෂීරපථයට අයත් ඒවාද නැතිනම් වෙනත් මන්දාකිණියකින් පැමිණි ඒවාද කියලා වෙන් කර හඳුනාගන්න පුළුවන් වුණා. එහිදී හමුවූ තුන්වන වර්ගයේ තරු පොකුරු කණ්ඩායම මගින් තහවුරු වුණේ, සූර්යයා මෙන් මිලියන 500ක ස්කන්ධයකින් යුත් මන්දාකිණියක් අතීතයේදී ක්ෂීරපථය විසින් ගිල දමා ඇති බවයි. මේ සොයාගැනීම මගින් අපේ මන්දාකිණියේ උපත සහ එහි පරිණාමය ගැන තිබූ අභිරහස් රැසක් විසඳා ගැනීමට විද්යාඥයන්ට හැකි වී තිබෙනවා.

Discussion & Feedback