ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ පිහිටි රජයට අයත් ස්වභාවික රක්ෂිත භූමියක් ස්පේස්-එක්ස් (SpaceX) සමාගමට ලබාදීමට එරෙහිව මේ වන විට දැඩි විරෝධයක් මතුවෙලා තියෙනවා. ඇමරිකානු මත්ස්ය හා වනජීවී සේවය සහ ස්පේස්-එක්ස් සමාගම අතර සිදුවන මෙම ඉඩම් හුවමාරුව හරහා අක්කර 727ක රක්ෂිත භූමියක් එම සමාගමට හිමිවීමට නියමිතයි. පරිසරවේදීන් සහ දේශීය ගෝත්රික කණ්ඩායම් පෙන්වා දෙන්නේ, මෙම ක්රියාව මගින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ වාසස්ථාන සහ ඓතිහාසික වැදගත්කමක් ඇති භූමි ප්රදේශ විනාශ වන බවයි. විශේෂයෙන්ම ස්පේස්-එක්ස් සමාගමේ රොකට් අත්හදා බැලීම් නිසා අවට පරිසරයට සහ පක්ෂීන්ගේ කූඩුවලට සිදුවන හානිය ඉතා බරපතළ බව පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා.
මෙම ඉඩම් හුවමාරුව නතර කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් මේ වන විටත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඔවුන් පවසන්නේ, රජයේ නිලධාරීන් ඉතා ඉක්මනින් සහ රහසිගතව මෙම ගනුදෙනුව සිදු කිරීමට උත්සාහ කරන බවයි. අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු මෙම ඉඩම් හුවමාරුව අත්හිටුවන ලෙස ඔවුන් හදිසි නියෝගයක් ඉල්ලා සිටිනවා. “මේ ඉඩම් වරක් ස්පේස්-එක්ස් සමාගමට පැවරුවොත්, ඒවා සදහටම අපිට අහිමි වෙනවා” යැයි පරිසර ක්රියාකාරීන් අනතුරු අඟවනවා. ස්පේස්-එක්ස් සමාගම තම ‘ස්ටාර්ෂිප්’ රොකට් ව්යාපෘතිය වෙනුවෙන් මෙම ඉඩම් භාවිත කිරීමට සැරසුණත්, මහජනතාවගේ සහ පරිසරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මේ වන විට දැඩි සටනක නිරත වෙමින් ඉන්නවා.

Discussion & Feedback