ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ පිහිටි රජයට අයත් ස්වභාවික රක්ෂිත භූමියක් ස්පේස්-එක්ස් (SpaceX) සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. ඇමරිකානු මත්ස්ය හා වනජීවී සේවය විසින් අක්කර 727ක භූමියක් ස්පේස්-එක්ස් සමාගමට ලබාදීමට සැලසුම් කර තිබෙන්නේ, ඒ වෙනුවට සමාගමට අයත් වෙනත් ඉඩම් කොටසක් ලබා ගැනීමේ ගිවිසුමක් යටතේයි. කෙසේ වෙතත්, පරිසරවේදීන් සහ දේශීය ගෝත්රික කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙම ක්රියාව මගින් වටිනා ස්වභාවික පරිසර පද්ධතියක් සහ ඓතිහාසික ස්ථානයක් විනාශ වී යන බවයි. මේ නිසා ඔවුන් අධිකරණය හමුවේ හදිසි නියෝගයක් ඉල්ලා සිටීමට පියවර ගෙන තිබෙනවා.
ස්පේස්-එක්ස් සමාගමේ ‘ස්ටාර්ෂිප්’ රොකට් අත්හදා බැලීම් හේතුවෙන් අවට පරිසරයට සහ වනජීවීන්ට සිදුවන හානිය ඉතා ඉහළ මට්ටමක පවතින බව පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම රොකට් දියත් කිරීම් නිසා පක්ෂීන්ගේ කූඩු විනාශ වීම සහ බිත්තරවලට හානි සිදුවීම වැනි බරපතළ ගැටලු මතු වී තිබියදී, රජය මෙවැනි තීරණයක් ගැනීම ඉතාම අසාධාරණ බවයි විරෝධතාකරුවන් පවසන්නේ. බලධාරීන් ඉතා රහසිගතව සහ කඩිමුඩියේ මෙම ඉඩම් හුවමාරුව සිදු කිරීමට උත්සාහ කරන බවටත් චෝදනා එල්ල වෙනවා. කෝටිපති සමාගමක අවශ්යතා වෙනුවෙන් මහජනතාවට අයත් ස්වභාවික සම්පත් මෙලෙස විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බවත්, අධිකරණය වහාම මැදිහත් වී මෙම ක්රියාවලිය නතර කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා.

Discussion & Feedback