අපේ ක්ෂීරපථයේ තියෙන විශාලතම තරු පොකුරක් වන ඔමේගා සෙන්චරි (Omega Centauri) තුළ සැඟවී තිබූ කළු කුහරයක් සොයාගන්න හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම මේ තරු පොකුරේ කළු කුහර දස දහසක් විතර ඇති කියලා විද්යාඥයන් සැක කරනවා. අවුරුදු විස්සක් තිස්සේ හබල් දුරේක්ෂයෙන් ලබාගත්ත දත්ත සහ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ නවීන තාක්ෂණය එකතු කරලා තමයි මේ අභිරහස විසඳගන්න හැකි වුණේ. මෙතෙක් කල් මේක නියුට්රෝන තාරකාවක් කියලා හිතාගෙන හිටියත්, අලුත්ම දත්තවලට අනුව මේක සූර්යයාගේ ස්කන්ධය මෙන් 4.46 ගුණයක් තියෙන කළු කුහරයක් බව තහවුරු වෙලා තියෙනවා.
මේ කළු කුහරය වටා භ්රමණය වන තාරකාවක චලනයන් නිරීක්ෂණය කරලා තමයි විද්යාඥයන් මේ සොයාගැනීම කරලා තියෙන්නේ. මේ තාරකාව කළු කුහරය වටා එක් වටයක් යන්න අවුරුදු 94ක් විතර ගන්නවා. මේ වගේ විශාල කක්ෂයක ගමන් කරන කළු කුහරයක් සහ තාරකාවක් සොයාගත්ත පළමු අවස්ථාව මෙයයි. යූටා විශ්වවිද්යාලයේ මැතිව් විටේකර් ප්රමුඛ කණ්ඩායම පවසන විදිහට, මේ දුරේක්ෂ දෙකේම දත්ත එකතු නොවුණා නම් මෙවැනි නිවැරදි මිනුමක් ලබාගන්න එක හීනයක් විතරයි.
ඔමේගා සෙන්චරි කියන්නේ සාමාන්ය තරු පොකුරකට වඩා වෙනස්, අතීතයේ තිබූ වාමන මන්දාකිණියක කේන්ද්රය වෙන්න පුළුවන් කියලා තමයි තාරකා විද්යාඥයන් විශ්වාස කරන්නේ. මේ සොයාගැනීමත් එක්ක තවත් කළු කුහර දහසක් පමණ මේ තරු පොකුරේ සැඟවී ඇති බවට තියෙන සැකය තවත් තහවුරු වෙනවා. අභ්යවකාශයේ තියෙන මේ වගේ අරුම පුදුම දේවල් ගැන තවමත් අපිට දැනගන්න තියෙන්නේ බොහෝ දේවල් බව මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා.

Discussion & Feedback