ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා දස දහසක් ලබා දීමට එරට රජය තීරණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විශේෂ ගිවිසුම් දෙකකට පසුගිය සඳුදා බැංකොක් නුවරදී අත්සන් තැබුණා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්තයේ කම්කරු අමාත්‍ය ජුලාපුන් අමෝන්විවාත් මහතා විසින් මෙම ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු කළා. තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට විසඳුමක් විදිහට තමයි ඔවුන් මේ පියවර අරගෙන තියෙන්නේ.
මෙම ගිවිසුම් හරහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නීත්‍යානුකූලව තායිලන්තයේ රැකියා සඳහා යොමුවීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමටත්, නීති විරෝධී බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීමටත් අවශ්‍ය රාමුවක් මේ හරහා සකස් කරලා තියෙනවා. ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු හුවමාරු කර ගැනීම, කුසලතා සංවර්ධනය සහ ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම වැනි කරුණු රැසක් මේ ගිවිසුම්වලට ඇතුළත්.
අමාත්‍ය විජිත හේරත් මහතා මේ අවස්ථාවේදී තායිලන්ත රජයට ස්තූතිය පළ කළ අතර, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළා. දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රමිකයන්ට ආරක්ෂිත සහ විධිමත් රැකියා අවස්ථා උදා කර දීම මෙම ගිවිසුම්වල ප්‍රධාන අරමුණයි. ඉදිරියේදී මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු විදේශ රැකියා අමාත්‍යාංශය හරහා දැනගන්න පුළුවන්.

Discussion & Feedback