මීට වසර දහයකට පමණ පෙර ලොවම මවිතයට පත් කරමින් ටෙස්ලා සමාගම හඳුන්වා දුන් ‘සෝලා රූෆ්’ හෙවත් සූර්ය බලශක්ති වහල ව්‍යාපෘතිය මේ වන විට නිල වශයෙන්ම නතර කර තිබෙනවා. ටෙස්ලා වෙබ් අඩවියෙන් මේ පිළිබඳ සියලුම තොරතුරු ඉවත් කර ඇති අතර, පැරණි සබැඳි සියල්ල දැන් සාමාන්‍ය සූර්ය බලශක්ති පිටුවකට යොමු වන අයුරින් වෙනස් කර තිබෙනවා. ආරම්භයේදී සතියකට වහල 1,000ක් සවි කිරීමේ ඉලක්කයක් තිබුණත්, 2022 වන විට එය සතියකට වහල 20ත් 40ත් අතර ප්‍රමාණයකට පහත වැටීම මෙම ව්‍යාපෘතියේ බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වුණා.
මෙම ව්‍යාපෘතිය අසාර්ථක වීමට ප්‍රධානම හේතුව වූයේ එහි අධික මිලයි. සමහර පාරිභෝගිකයන්ට ඩොලර් 200,000ක් වැනි විශාල මුදලක් වැය කිරීමට සිදු වූ අතර, තාක්ෂණික ගැටලු ද බහුලව දක්නට ලැබුණා. විශේෂයෙන්ම වහලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා විදුලි උත්පාදනය අඩුවීම සහ වහලයේ කොටස් දියවී යාම වැනි බරපතළ දෝෂ වාර්තා වුණා. සාමාන්‍ය සූර්ය පැනලවලට වඩා මෙම වහල සවි කිරීමේදී වාතාශ්‍රය ලැබෙන ඉඩකඩ අඩු වීම නිසා තාපය පාලනය කර ගැනීමට ටෙස්ලා සමාගමට නොහැකි වුණා.
කෙසේ වෙතත්, ටෙස්ලා සමාගම මෙම ව්‍යාපෘතිය අත්හැරියත්, තවමත් වෙළඳපොලේ වෙනත් සමාගම් සූර්ය බලශක්ති වහල නිෂ්පාදනය කරනවා. එලොන් මස්ක් වැනි දැවැන්තයෙකුට පවා සාර්ථක කරගත නොහැකි වූ මෙම අභියෝගය ඉදිරියේදී වෙනත් සමාගම් ජය ගනීවිද යන්න තවමත් ගැටලුවක්. දැනට පවතින ඉතිරි තොග අවසන් වන තුරු පමණක් සීමිත පාරිභෝගිකයන් පිරිසකට මෙය ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති.

Discussion & Feedback