ටෙස්ලා සමාගමේ අතිශය ජනප්රිය සහ බොහෝ දෙනෙක් බලා සිටින දෙවන පරම්පරාවේ රෝඩ්ස්ටර් (Roadster) මෝටර් රථය එළිදැක්වීමට කාලය එළඹ තිබෙනවා. සමාගම විසින් සිය X ගිණුම හරහා ‘Go for launch’ යනුවෙන් කෙටි සටහනක් තබමින්, ඔක්තෝබර් පළමුවැනිදා මෙම නවීනතම විදුලි මෝටර් රථය ලෝකයට හඳුන්වා දෙන බව තහවුරු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම රථය සඳහා SpaceX සමාගමේ තාක්ෂණය යොදා ගනිමින් සකස් කළ ‘කෝල්ඩ් ගෑස් තෙරස්ටර්’ (cold gas thrusters) පද්ධතියක් ඇතුළත් වන බවට ඉඟි පළවී තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා. මෙය මෝටර් රථයට යම් ආකාරයකින් පියාසර කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති බවයි පැවසෙන්නේ.
ඇත්තටම මේ රෝඩ්ස්ටර් රථය ගැන මුලින්ම ප්රකාශ කළේ 2017 වසරේදී වුණත්, විවිධ හේතු මත එය නිතරම කල් දැමීමට සිදු වුණා. පසුගිය කාලයේදී OpenAI සමාගමේ ප්රධානී සැම් ඕල්ට්මන් පවා තමන් කලින් වෙන් කරවා ගත් රථය ලැබීමට වසර හතකට වැඩි කාලයක් බලා සිටීම ගැන සිය අප්රසාදය පළ කර තිබුණා. කෙසේ වෙතත්, ටෙස්ලා සමාගම පවසන්නේ 2017 වසරේ සැලසුම සම්පූර්ණයෙන්ම වෙනස් කර, වඩාත් නවීන සහ දියුණු මෝස්තරයකින් මෙම රථය එළිදක්වන බවයි. එළිදැක්වීම ඔක්තෝබර් මාසයේ සිදු වුණත්, නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට තවත් මාස 12 සිට 18 දක්වා කාලයක් ගතවනු ඇති බව එලොන් මස්ක් මීට පෙර සඳහන් කර තිබුණා. කොහොම වුණත්, ලෝකයේම අවධානය මේ වන විට ටෙස්ලා සමාගමේ මේ නවතම පියවර දෙසට යොමු වී අවසානයි.

Discussion & Feedback