ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටින ක්‍රිස්ටා පයික්ගේ දඬුවම ලිහිල් කරන ලෙස කළ ඉල්ලීම එරට ආණ්ඩුකාර බිල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇය වයස අවුරුදු 18දී තරුණයෙකු සමඟ එක්ව 19 හැවිරිදි කොලීන් ස්ලෙමර් නම් තරුණියව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ වරදටයි වසර ගණනාවකට පෙර මරණ දඬුවම නියම වුණේ. මේ දඬුවම ක්‍රියාත්මක වුවහොත්, පසුගිය වසර 200ක කාලය තුළ ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම ක්‍රියාත්මක වන පළමු කාන්තාව ඇය බවට පත්වෙනවා. මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන ඇයගේ නීතිඥ කණ්ඩායම අවසන් මොහොතේ හෝ ඇයව බේරා ගැනීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඇයගේ නීතිඥවරු පවසන්නේ අපරාධය සිදු කරන අවස්ථාවේ ඇය තවමත් නව යොවුන් වියේ පසු වූ බවත්, ඇයගේ ළමා කාලයේ සිදු වූ අපයෝජන සහ මානසික ගැටලු පිළිබඳව මීට පෙර අධිකරණයේදී නිසි ලෙස කරුණු ඉදිරිපත් නොවූ බවත්ය. කෙසේ වෙතත්, මියගිය තරුණියගේ මව පවසන්නේ තම දියණියට සාධාරණය ඉටු වීමට නම් මෙම දඬුවම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවයි. මේ වන විට ඇයගේ දඬුවම සැප්තැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, නීතිඥවරුන්ගේ අවසන් උත්සාහය සාර්ථක වේද යන්න තවමත් අවිනිශ්චිතයි. ඇමරිකාව පුරාම මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර, නව යොවුන් වියේදී කරන ලද වරදකට මරණ දඬුවම ලබා දීම සුදුසුද යන්න පිළිබඳව සමාජයේ විවිධ මත පළවෙමින් පවතිනවා.

Discussion & Feedback