යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්නයේ පැවැත්වුණු ඩ්‍රෝන තාක්ෂණික ප්‍රදර්ශනයක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. ආරක්ෂක අංශවල ප්‍රබල සාමාජිකයින් සහ තාක්ෂණික විශේෂඥයින් සහභාගී වූ මෙම ප්‍රදර්ශනයට මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. මීට අමතරව, ස්ලෝවියන්ස්ක් නගරයට එල්ල වූ ග්ලයිඩ් බෝම්බ ප්‍රහාරයකින් තවත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් යුක්රේනය විසින් රුසියාවේ කිරොව් නගරයේ පිහිටි හමුදා සැපයුම් මධ්‍යස්ථාන සහ ‘වයිල්ඩ්බෙරිස්’ අන්තර්ජාල වෙළඳ ආයතනයේ ගබඩා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම ඩ්‍රෝන ප්‍රදර්ශනය රුසියාවට එරෙහිව ප්‍රහාර සැලසුම් කරන ස්ථානයක් බවයි. කෙසේ වෙතත්, මෙවැනි ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් ආරක්ෂක ගැටලු මධ්‍යයේ පැවැත්වීම පිළිබඳව යුක්රේනය තුළම දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, ඒ පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඉදිරි දින කිහිපය තුළ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. එහිදී ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වෙන්නේ. රුසියාව තවත් දැවැන්ත මිසයිල ප්‍රහාරයකට සූදානම් වන බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇති පසුබිමක, දෙරට අතර පවතින මෙම උණුසුම් තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා.

Discussion & Feedback