නේපාලයේ මනාං දිස්ත්රික්කයේ පිහිටි හිම්ලුං හිමාල් කඳු මුදුන ආසන්නයේදී සිදුවූ දරුණු හිම කඳු කඩා වැටීමකින් දේශීය කඳු නගින්නන් දස දෙනෙකු අතුරුදහන් වෙලා තියෙනවා. විදෙස් සංචාරකයින් සඳහා කඳු නැගීමේ මාර්ග සකස් කිරීමට සහ කඳවුරු ස්ථාපිත කිරීමට ගිය මෙම පිරිස ඉරිදා උදෑසන මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ. ඔවුන් අතරින් අට දෙනෙක් එක් සංචාරක ආයතනයක සේවකයින් වන අතර ඉතිරි දෙදෙනා තවත් ආයතනයකට අයත් අය බවයි වාර්තා වෙන්නේ. පසුගිය දින කිහිපයේම එම ප්රදේශයට ඇද හැළුණු අධික හිම පතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය නිසා කඳු මුදුන ඉතාම අනතුරුදායක තත්ත්වයක පැවතුණා.
මේ වන විට පවතින දැඩි මීදුම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සහ හෙලිකොප්ටර් යානාවලට එම ප්රදේශයට ළඟා වීමට නොහැකි වී තිබෙනවා. නේපාලයේ කඳුකර ප්රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව සහ හිම පතනය නිසා මෙවැනි අනතුරු බහුල වෙලා තියෙනවා. මීට පෙර මනාස්ලු කන්දේ කඳු නගින්නන්ටත් හිම කඳු කඩා වැටීමේ තර්ජනය නිසා ආපසු හැරී ඒමට සිදුවුණා. කෙසේ වෙතත්, කාලගුණය යහපත් වූ වහාම අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලධාරීන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback