වෝනර් බ්රදර්ස් සමාගම මිලදී ගැනීමට නෙට්ෆ්ලික්ස් ආයතනය ගත් උත්සාහය අසාර්ථක වුවත්, තමන් ඒ ගැන කිසිදු පසුතැවීමක් නොමැති බව නෙට්ෆ්ලික්ස් සම-ප්රධාන විධායක නිලධාරී ටෙඩ් සරන්ඩෝස් පවසනවා. බ්ලූම්බර්ග් ආයතනය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, එම ගනුදෙනුව සඳහා තමන් ඉදිරිපත් කළ මිල නෙට්ෆ්ලික්ස් සමාගමේ වටිනාකමට සහ කොටස් හිමියන්ගේ ලාභයට ගැලපෙන සාධාරණ මිලක් බවයි. වෝනර් බ්රදර්ස් සමාගම අවසානයේ පැරාමවුන්ට් ආයතනයට හිමි වුවත්, නෙට්ෆ්ලික්ස් ආයතනය සැමවිටම කටයුතු කරන්නේ දිගුකාලීන ප්රතිලාභ ලැබෙන අයුරින් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර නෙට්ෆ්ලික්ස් හි පරිශීලකයන් නරඹන කාලය හෙවත් ‘එන්ගේජ්මන්ට්’ (Engagement) මට්ටම මන්දගාමී වීම පිළිබඳවද ඔහු අදහස් දැක්වුවා. සරන්ඩෝස් පවසන පරිදි, නෙට්ෆ්ලික්ස් මේ වන විට සජීවී වැඩසටහන් සඳහා වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. සාමාන්ය වැඩසටහනකට වඩා සජීවී ක්රීඩා හෝ විශේෂ වැඩසටහන් මගින් වැඩි ආදායමක් ලැබෙන බව ඔහු පෙන්වා දෙනවා. ලෝක කුසලාන වැනි තරඟාවලි නිසා පසුගිය කාලයේ යම් අභියෝග තිබුණත්, ලොව පුරා සෑම කලාපයකම නෙට්ෆ්ලික්ස් ආදායම ද්විත්ව ඉලක්කමකින් වර්ධනය වී තිබීම සතුටට කරුණක්.
එමෙන්ම, වෝනර් බ්රදර්ස් සහ පැරාමවුන්ට් ඒකාබද්ධ වීමෙන් පසු එම ආයතනයේ ප්රධානියා ලෙස කටයුතු කරන කේසි බ්ලෝයිස් ගැනද ඔහු අදහස් දැක්වූවා. ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙකු බවත්, අනාගතයේදී ඔහු ඕනෑම තැනකදී සාර්ථක වනු ඇති බවත් සරන්ඩෝස් සඳහන් කළා. නෙට්ෆ්ලික්ස් ආයතනය තවදුරටත් නව අන්තර්ගතයන් නිර්මාණය කරමින් සහ සජීවී වැඩසටහන් හරහා සිය වර්ධනය වේගවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

Discussion & Feedback