ජනප්රිය ‘ටෙඩ් ලැසෝ’ (Ted Lasso) ටෙලි කතා මාලාව හරහා ලොව පුරා රසික ආදරය දිනාගත් නළු ක්රිස්ටෝ ෆර්නැන්ඩස්, මේ වන විට තමන්ගේ සැබෑ ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ කරගෙන තියෙනවා. ඔහු පසුගියදා ඇමරිකාවේ ‘එල් පැසෝ ලොකොමෝටිව්’ (El Paso Locomotive FC) කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල වෘත්තීය පාපන්දු තරගයට එක් වුණා. නිව් මෙක්සිකෝ යුනයිටඩ් කණ්ඩායම සමඟ පැවති මෙම තරගයේදී, 79 වැනි මිනිත්තුවේදී ආදේශක ක්රීඩකයෙක් විදිහට පිටියට පිවිසෙන්න ඔහුට අවස්ථාව ලැබුණා. පන්දහසකට අධික රසික පිරිසක් ඉදිරියේ පැවති මේ තරගය ලොකොමෝටිව් කණ්ඩායමට පරාජයෙන් අවසන් වුණත්, ෆර්නැන්ඩස්ගේ මේ දක්ෂතාවය ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා.
කුඩා කාලයේ සිටම පාපන්දු ක්රීඩාවට දැඩි ආශාවක් දක්වන ෆර්නැන්ඩස්, මීට පෙර මෙක්සිකෝවේ තරුණ කණ්ඩායම් නියෝජනය කර තිබුණත්, ආබාධයක් නිසා ඔහුට ක්රීඩාවෙන් ඉවත් වෙන්න සිදු වුණා. නමුත් තමන්ගේ සිහිනය අතහැර දැමුවේ නැති ඔහු, මාස දෙකක පුහුණුවකින් පසුවයි මෙලෙස වෘත්තීය මට්ටමින් ක්රීඩා කිරීමට අවස්ථාව ලබා ගත්තේ. තමන්ගේ මේ ගමන ගැන අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඕනෑම අභියෝගයක් ජය ගන්න නම් තමන් ගැන විශ්වාසය තබා උත්සාහය අත් නොහැරිය යුතු බවයි. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ‘ටෙඩ් ලැසෝ’ සිව්වන කතා මාලාවේ ඔහු නැවතත් දකින්න ලැබේද යන්න ගැන තවමත් නිශ්චිත තොරතුරක් නැතත්, රසිකයන් නම් ඔහු දෙස බලා සිටින්නේ ලොකු බලාපොරොත්තුවකින්.

Discussion & Feedback