ටැන්සානියාවේ පාලක පක්ෂය වන ‘චාමා චා මපින්දුසි’ (CCM) පක්ෂය විසින් එරට උප ජනාධිපති එම්මානුවෙල් එන්චිම්බිව පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කරලා තියෙනවා. ඔහු පසුගිය දිනෙක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ ඇති වූ විනය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ඔහු මෑතකදී නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් සටන් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම වැනි මතභේදාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කිරීම ජනාධිපති සමියා සුලුහු හසන් සමඟ ඇති වූ ගැටුමකට මුල පිරූ බවක් පෙනෙන්නට තියෙනවා. ටැන්සානියානු ඉතිහාසයේ උප ජනාධිපතිවරයෙකු තනතුරෙන් ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.
මේ අතර, එන්චිම්බිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ උප ජනාධිපති ධුරය සඳහා වත්මන් බලශක්ති අමාත්‍ය ඩියෝග්රේෂියස් එන්ඩෙජෙම්බිව නම් කිරීමට ජනාධිපතිවරිය කටයුතු කරලා තියෙනවා. 43 හැවිරිදි එන්ඩෙජෙම්බිගේ නම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය වසරේ පැවති මතභේදාත්මක මැතිවරණයෙන් පසුව ඇති වූ විරෝධතා සහ නොසන්සුන්තා මධ්‍යයේ බලයට පත් වූ මෙම රජය, මේ වන විට අභ්‍යන්තර දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. කෙසේ වෙතත්, එන්චිම්බිගේ විනය විරෝධී ක්‍රියා පිළිබඳ වැඩිදුර තොරතුරු පක්ෂය විසින් මෙතෙක් හෙළි කර නැහැ.

Discussion & Feedback