ටැන්සානියාවේ ජනාධිපතිනි සාමියා සුලුහු හසන් මහත්මියගේ ආදරණීය සැමියා වන හෆීඩ් අමීර් හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු සන්සිබාර් දූපතේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව එරට උප ජනාධිපතිවරයා නිල වශයෙන් තහවුරු කළා. හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගිය බවත්, සඳුදා සවස ඔහුගේ උපන් ගම වන කිසින්කාසිහිදී අවසන් කටයුතු සිදු කළ බවත් වාර්තා වෙනවා. වෘත්තියෙන් කෘෂිකාර්මික විද්වතෙකු වූ හෆීඩ් මහතා, 2021 වසරේදී සාමියා සුලුහු හසන් මහත්මිය ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ටැන්සානියාවේ පළමු ‘පළමු මහත්මයා’ (First Gentleman) ලෙස ඉතිහාසයට එක් වුණා.
ඔහු බොහෝ විට ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටි අතර, ඉතා සරල ජීවිතයක් ගත කළ අයෙක්. 1978 වසරේදී සාමියා මහත්මිය සමඟ විවාහ වූ ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙක්. ඔහුගේ අභාවය පිළිබඳව කෙන්යාව, සැම්බියාව සහ බුරුන්ඩිය වැනි අසල්වැසි රටවල නායකයින් සිය ශෝකය පළ කර තිබෙනවා. ජනාධිපතිනියට සහ ඇගේ පවුලේ සැමට මෙම දුෂ්කර අවස්ථාවේදී ශක්තිය ප්‍රාර්ථනා කරන බව ඔවුන් පවසා තිබුණා. දේශපාලනයට පිවිසීමට පෙර සිටම ඇය සමඟ සිටි හෆීඩ් මහතාගේ වියෝව ජනාධිපතිනියට සහ ඇගේ පවුලේ අයට විශාල පාඩුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Discussion & Feedback