තායිවානයේ පදිංචි පුද්ගලයෙක් තමන්ගේ බිරිඳගේ අනියම් සම්බන්ධය ඔප්පු කරන්න රොබෝ වැකුම් ක්ලීනර් එකක් පාවිච්චි කරලා අන්තිමේදී හිරේ ගිය පුවතක් ගැන තමයි මේ දවස්වල ලෝකය පුරාම කතා වෙන්නේ. මේ පුද්ගලයා තමන්ගේ බිරිඳගේ සැක කටයුතු හැසිරීම් නිසා ඇයව නිරීක්ෂණය කරන්න තමයි ගෙදර තිබුණු රොබෝ වැකුම් ක්ලීනර් එකේ තිබුණු ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පටිගත කිරීමේ පහසුකම පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෙන් ලැබුණු වීඩියෝ දර්ශන පාවිච්චි කරලා ඔහු සිවිල් උසාවියකදී තමන්ගේ බිරිඳට සහ ඇගේ පෙම්වතාට විරුද්ධව නඩු දිනන්නත් සමත් වුණා. උසාවියෙන් ඔවුන්ට වන්දි ගෙවන්නත් නියෝග කළා.
නමුත් මේ ජයග්‍රහණය වැඩි දවසක් තිබුණේ නැහැ. බිරිඳ විසින් සැමියාට විරුද්ධව පෞද්ගලිකත්වයට හානි කිරීමේ චෝදනාව යටතේ නඩුවක් ගොනු කළා. උසාවිය තීන්දු කළේ විවාහක වුණා කියලා කාගේවත් පෞද්ගලිකත්වයට හානි කරන්න කාටවත් අයිතියක් නැහැ කියලයි. ඒ අනුව, අනවසරයෙන් වීඩියෝ පටිගත කිරීමේ වරදට සැමියාව මාස පහක සිරදඬුවමකට සහ දඩ මුදලකට යටත් කරන්න උසාවිය නියෝග කළා. මේ සිදුවීම සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ගොඩක් අය කියන්නේ යුක්තිය ඉටු කරගන්න ඕනේ නීතිමය රාමුව ඇතුළේ මිසක් මෙහෙම නීති විරෝධී දේවල් කරලා නෙවෙයි කියලයි.

Discussion & Feedback