සිරියාවේ වසර 14ක් පුරා පැවති යුද සමයේදී සිදු වූ බරපතල අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්, ඔහුගේ සහෝදරයා වන මාහර් අල්-අසාද් සහ ඥාති සොහොයුරු අතෙෆ් නජීබ්ට මරණ දඬුවම නියම කරලා තියෙනවා. දමස්කස් නුවර අපරාධ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නේ ඔවුන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වධහිංසා පැමිණවීම සහ පෙර සැලසුම් කළ මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරුවන් බව තහවුරු වීමෙන් පසුවයි. දැනට රුසියාවේ පිටුවහල්ව ජීවත් වන බෂාර් අල්-අසාද් සහ ඔහුගේ සහෝදරයාට මෙම දඬුවම ලබා දී තිබෙන්නේ ඔවුන් නොමැතිවයි.
මේ අතර, සිරියාවේ දේරා පළාතේ දේශපාලන ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතෙෆ් නජීබ් මේ වන විට සිරියාවේ අත්අඩංගුවේ පසුවන අතර, ඔහුට ද මරණ දඬුවම නියම වුණා. 2011 වසරේදී විරෝධතාකරුවන්ට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීම සහ වයස අවුරුදු 15ට අඩු දරුවන් ඝාතනය කිරීම වැනි බරපතල චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා. මෙම තීන්දුව සිරියානු ජනතාවට විශාල සහනයක් ගෙන දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ඔවුන් බලා සිටි යුක්තිය ඉටු වීමේ ආරම්භයක් බවත් වාර්තා වෙනවා.
මෙම නඩු තීන්දුව මගින් අසාද් පාලන සමයේදී අපරාධ සිදු කළ අනෙකුත් පුද්ගලයන්ටත් නීතියේ රැහැනට හසු වීමට සිදුවන බවට පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබෙනවා. සිරියාවේ නව පරිපාලනය යටතේ පැවැත්වෙන මෙම නඩු විභාග මගින් යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට යම් සැනසීමක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

Discussion & Feedback