ස්වීඩනයේ ෆාගර්ස්ටා ප්‍රදේශයේ පිහිටි පාසලකට පසුගිය සිකුරාදා දහවල් එල්ල වුණු බිහිසුණු කඩු ප්‍රහාරයකින් 17 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරයෙන් තවත් 12 හැවිරිදි සහ 17 හැවිරිදි සිසුන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, තවත් අයෙකුට සුළු තුවාල සිදුවී තිබෙනවා. ගිම්හාන නිවාඩුවෙන් පස්සේ සිසුන් නැවතත් පාසලට පැමිණි මුල්ම දිනවලදී මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වීම මුළු රටම කම්පනයට පත් කර තිබෙනවා.
පොලිසිය විසින් මේ ප්‍රහාරයට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු එම පාසලේම හිටපු සිසුවෙක් බවත්, ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී හිස් ආවරණයක් පැළඳ සිටි බවත් වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ස්වීඩන අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් සහ විපක්ෂ නායිකා මැග්ඩලේනා ඇන්ඩර්සන් පාසලට ගොස් මියගිය සිසුවිය සිහි කිරීම සඳහා මල් තබා ගෞරවය පුද කළා. ස්වීඩන රජු ද මේ සිදුවීම සම්බන්ධයෙන් සිය දැඩි ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
පොලිසිය මේ වන විටත් සැකකරුගේ නිවෙස් පරීක්ෂා කරමින් සහ සිද්ධියට හේතුව සොයා ඉතා දැඩි ලෙස පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී පොලිසිය විසින් වෙඩි තැබීම් සිදු කළත්, සැකකරුට තුවාල සිදුවුණාද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ. කෙසේ වෙතත්, මේ සිදුවීම මුළු රටම කම්පනයට පත් කළ බරපතළ අපරාධයක් ලෙසයි බලධාරීන් හඳුන්වා දී තියෙන්නේ.

Discussion & Feedback