අසූව දශකයේ අගභාගයේ සහ අනූව දශකයේ මුල් භාගයේ ලොවම පිනවූ සුප්රසිද්ධ ස්වීඩන් පොප් සංගීත කණ්ඩායමක් වන ‘රොක්සෙට්’ (Roxette) සිය 40 වැනි සංවත්සරය වෙනුවෙන් සැලසුම් කර තිබූ උතුරු ඇමරිකානු සංචාරය හදිසියේම අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ ජනප්රියතම ගීතයක් වන ‘It Must Have Been Love’ යූටියුබ් හරහා බිලියනයකට අධික නැරඹුම් වාර ගණනක් ලබාගෙන තිබුණත්, සංචාරය සඳහා වන වියදම් අධික වීම සහ ප්රවාහන කටයුතු වල ඇති වූ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව කණ්ඩායමේ නිර්මාතෘ පර් ගෙස්ල් සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා ප්රකාශ කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ සංචාරය සංවිධානය කළ ‘ලයිව් නේෂන්’ (Live Nation) ආයතනය විසින් වන අතර, එය තමන්ට විශාල කලකිරීමක් ගෙන දුන් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
මීට පෙර රොක්සෙට් කණ්ඩායම නියෝජනය කළ මාරි ෆ්රෙඩ්රික්සන් 2019 වසරේදී අභාවප්රාප්ත වූ අතර, පසුව 2024 වසරේදී ගායිකා ලීනා පිලිප්සන් සමඟ කණ්ඩායම නැවතත් කරළියට පැමිණියා. ඇමරිකාව සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයක පැවැත්වීමට නියමිතව තිබූ ප්රසංග 14ක් මෙලෙස අවලංගු වී තිබෙනවා. කෙසේ වෙතත්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල පැවැත්වීමට නියමිත ප්රසංග තවමත් සැලසුම් කර ඇති පරිදිම සිදුවන බවයි වාර්තා වන්නේ. අනාගතයේදී යම් දිනක ඇමරිකානු සහ කැනේඩියානු රසිකයන් හමුවීමට තමන් බලාපොරොත්තු වන බව පර් ගෙස්ල් සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

Discussion & Feedback