නීතිවිරෝධී ලෙස මුදල් ගනුදෙනු කිරීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත වැඩ තහනම් කර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මෙහොත්ති ආරච්චිගේ ලහිරු ප්රමෝද් නමැති මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව පසුගිය බදාදා (30) දහවල් 12.45ට පමණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම නිලධාරියා තමන් සේවය කරන කාලය තුළ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන්, පැමිණිලිකරුවන් සහ වරදකරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඔහු එම සබඳතා උපයෝගී කරගෙන බැංකු ගිණුම් හරහා නීතිවිරෝධී ලෙස මුදල් ගනුදෙනු සිදු කර ඇති බවත්, පසුව එම මුදල් විශුද්ධිකරණය කර ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුවයි ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි සිදුවීම් හරහා පොලිස් සේවයේ ගෞරවයට හානි සිදුවන බවත්, නීතිය ක්රියාත්මක කරන නිලධාරීන්ම මෙවැනි අපරාධවලට සම්බන්ධ වීම බරපතළ තත්ත්වයක් බවත් සමාජය තුළ කතාබහක් ඇති වෙලා තියෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතිනවා.

Discussion & Feedback