නෙදර්ලන්තයේ ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයකටම හිතාමතාම සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා මේ වන විට එරට දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වෙලා තියෙනවා. ඇම්ස්ටර්ඩෑම් නුවර ඇතුළු ප්‍රදේශ රැසක දුම්රිය ගමන් වාර අවලංගු කරලා තියෙන අතර, තවත් බොහෝ ගමන් වාර ප්‍රමාද වෙමින් පවතිනවා. දුම්රිය මාර්ග මත යම් යම් ලෝහමය බට කොටස් හිතාමතාම තබා තිබියදී සොයාගෙන තියෙනවා. මේ නිසා දුම්රිය මාර්ගවල සංඥා පද්ධතිවල දෝෂ ඇතිවෙලා තියෙන බවයි එරට දුම්රිය බලධාරීන් වන ProRail ආයතනය පවසන්නේ. ස්ටීන්වික් නගරයේදී දුම්රියක් මෙවැනි බටයක ගැටී අනතුරක් සිදුවීමට ගියත්, වාසනාවකට මගීන්ට කිසිදු හානියක් සිදුවෙලා නැහැ.
මේ සිදුවීම පිටුපස ඉන්නේ කවුද හෝ මෙයට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වෙලා නැහැ. කෙසේ වෙතත්, නෙදර්ලන්ත පොලිසිය මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේ අතර, ප්‍රංශයේදීත් මෑතකදී සිදුවූ දුම්රිය පීලි පැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවක සැකයක් පවතින බව වාර්තා වෙනවා. නෙදර්ලන්තයේ සිදුවූ මෙම බාධා කිරීම් නිසා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යන දුම්රිය සේවාවන්ටත් බලපෑම් එල්ල වෙලා තියෙනවා. තත්ත්වය සාමාන්‍ය අතට පත් කිරීමට බලධාරීන් උත්සාහ කළත්, මගීන්ට තවදුරටත් දුම්රිය ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback