යාල ජාතික වනෝද්‍යානය ඇතුළත පසුගිය අඟහරුවාදා දින වනජීවී නිලධාරීන් සහ දඩයමේ නිරත වූ පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවෙලා තියෙනවා. තණමල්විල යාල වනෝද්‍යාන මූලස්ථානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් වනෝද්‍යානය ඇතුළේ සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන අතරතුර තමයි මේ ගැටුම ඇතිවෙලා තියෙන්නේ. මේ සිද්ධිය අතරතුර වෙඩි හුවමාරුවක් සිදුවීම නිසා දඩයමේ නිරත වූ එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
මෙම සිද්ධියෙන් පසුව සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පලාගොස් ඇති අතර, තුවාල ලැබූ 44 හැවිරිදි තිස්සමහාරාම, ඇල්ලගල වම් ඉවුරේ පදිංචි පුද්ගලයෙක්ව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සතුව තිබී මරා දැමූ සතෙකුගේ මස් තොගයක් සහ දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවි දෙකක් ද නිලධාරීන් විසින් සොයාගෙන තියෙනවා. තුවාල ලැබූ සැකකරුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.
පසුව මෙම සැකකරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුව අගෝස්තු 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. වනජීවී නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යන අතර, පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තියෙනවා.

Discussion & Feedback