ලොව පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ රැල්ලක් මෙහෙයවූ බවට චෝදනා ලැබ සිටින ප්‍රබල පාතාල නායක ඩැනියෙල් කිනාහන්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අයර්ලන්තය වෙත රැගෙන ඒමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගත් 49 හැවිරිදි කිනාහන්ව, අයර්ලන්ත රජයට අයත් විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට ඩබ්ලින් නුවර බලා රැගෙන ඒම සිදුවන්නේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි. ඔහු අයර්ලන්තයට පැමිණි වහාම අපරාධ සංවිධානයක් මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට නියමිත අතර, ඉන්පසු ඔහුව විශේෂ අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කිනාහන්ගේ මෙම පැමිණීම වෙනුවෙන් අයර්ලන්ත බලධාරීන් ඉතා ඉහළ මට්ටමේ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ සඳහා බෝම්බ සහ වෙඩි උණ්ඩවලින් ආරක්ෂා විය හැකි විශේෂ රථයක් පවා යොදාගෙන ඇති අතර, සන්නද්ධ පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් විශාල පිරිසක් යොදවා තිබෙනවා. ඇමරිකානු භාණ්ඩාගාරය විසින් ලොව භයානකම අපරාධ කල්ලි අතරට නම් කර ඇති මෙම කිනාහන් කල්ලිය, මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම් හරහා බිලියන ගණනක මුදලක් උපයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. කිනාහන්ව මෙලෙස නැවත අයර්ලන්තයට ගෙන්වා ගැනීම දෙරට අතර පවතින අධිකරණ සහයෝගීතාවයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි එරට බලධාරීන් හඳුන්වන්නේ. ඔහු ඉදිරියේදී පෝට්ලීස් බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව යටතේ රඳවා තැබීමට නියමිතයි.

Discussion & Feedback