සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරමින් රුපියල් ලක්ෂ පහක වැනි විශාල මුදලකට විකුණන්න හදපු දුර්ලභ වර්ගයේ මුහුදු බෙල්ලෙක් (Horned Helmet) ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක්ව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඇඹිලිපිටිය, පඩලංගල ප්‍රදේශයෙන්. වනජීවී නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී තමයි මේ සැකකරුව අදාළ බෙල්ලත් එක්කම අල්ලගන්න පුළුවන් වුණේ. පසුව ඔහුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළාම රුපියල් 40,000ක දඩ මුදලක් ගෙවන්න කියලා නියෝග කරලා තියෙනවා.
ඇත්තටම මේ වගේ මුහුදු බෙල්ලන් කියන්නේ අපේ මුහුදු පතුලේ පරිසර පද්ධතියේ සමතුලිතතාවය රකින්න උදව් වෙන හරිම වැදගත් සත්තු ජාතියක්. විශේෂයෙන්ම කොරල් පරවලට හානි කරන ජීවීන්ව ආහාරයට ගනිමින් පරිසරය පිරිසිදුව තියාගන්න මේ බෙල්ලන් ලොකු මෙහෙයක් කරනවා. ඒ නිසාම තමයි වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මේ වගේ සත්තුන්ව අල්ලන එක, ළඟ තියාගන්න එක සහ විකුණන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. උඩවලව ජාතික උද්‍යානයේ පනාහඩුව අඩවි කාර්යාලයේ නිලධාරීන් තමයි මේ වැටලීම සාර්ථකව සිදු කළේ.

Discussion & Feedback