වැලිගම පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆින් ක්රීඩාවේ යෙදෙමින් සිටි 21 හැවිරිදි ටියුනීසියානු ජාතික සංචාරකයෙක් මුහුදේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. පසුගිය සෙනසුරාදා (08) දින ඔහු තවත් සිය රටේ මිතුරන් පිරිසක් සමඟ සර්ෆින් ක්රීඩාවේ නිරත වෙමින් සිටියදී හදිසියේම හමා ආ ප්රබල සුළං සහ මුහුදේ ඇති වූ රළ පහරකට හසුවී ඔහු අතුරුදහන් වෙලා තිබුණා. මේ සිදුවීමත් එක්කම ප්රදේශවාසීන් සහ සංචාරකයින් දැඩි කම්පනයකට පත් වුණා.
සිද්ධිය සැලවීමත් සමඟම වැලිගම පොලිසියේ නිලධාරීන්, වෙරළාරක්ෂක බලකාය සහ පෞද්ගලික කිමිදුම්කරුවන් එකතු වෙලා අතුරුදහන් වූ තරුණයා සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කළා. නමුත් එදින ඔහු සොයා ගැනීමට නොහැකි වූ අතර, පසුදින එනම් ඉරිදා (09) උදෑසන කාලයේදී ඔහුගේ මළ සිරුර එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී සොයා ගැනීමට හැකි වුණා.
මේ වන විට වැලිගම පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන මෙවැනි වෙරළ තීරයන්හිදී මුහුදේ පවතින අවදානම් තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි ප්රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback