ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් ධවල මන්දිරය ආශ්රිතව ඉදි කිරීමට සැලසුම් කර ඇති දැවැන්ත බෝල්රූම් ශාලාවේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පහළ අධිකරණයක් ලබා දී තිබූ නියෝගය ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. මේ අනුව, අදාළ ඉදිකිරීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබී ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වැඩිදුර කරුණු දැක්වීමක් සිදු කර නැහැ. මීට පෙර අභියාචනාධිකරණය පවා තීන්දු කර තිබුණේ මෙම ව්යාපෘතිය සඳහා කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවයි.
මෙම ව්යාපෘතියට එරෙහිව ජාතික ඓතිහාසික සංරක්ෂණ භාරය ඇතුළු පාර්ශව කිහිපයක් අධිකරණය හමුවට ගොස් තිබුණේ, ධවල මන්දිරයේ මුල් ගෘහ නිර්මාණ ශිල්පයට හානි වන පරිදි සහ කොංග්රසයේ අනුමැතියකින් තොරව මෙවැනි දැවැන්ත ඉදිකිරීමක් සිදු කිරීම නීති විරෝධී බව පවසමින්. ඔවුන් පෙන්වා දෙන්නේ වර්ග අඩි 90,000ක් පුරා පැතිරෙන මෙම බෝල්රූම් ශාලාව නිසා ධවල මන්දිරයේ සමතුලිතතාවය බිඳ වැටෙන බවයි. කෙසේ වෙතත්, ට්රම්ප් පරිපාලනය තර්ක කරන්නේ මෙය ජාතික ආරක්ෂාව සඳහා අවශ්ය වන හමුදාමය සංකීර්ණයක් බවත්, එය අත්යවශ්ය අවශ්යතාවක් බවත්ය. කෝටි 60ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති මෙම ව්යාපෘතිය සඳහා පෞද්ගලික පරිත්යාගශීලීන්ගේ සහාය ලැබෙන බව පැවසුවද, බදු ගෙවන්නන්ගේ මුදල්ද විශාල වශයෙන් වැය වන බවට වාර්තා පළ වී තිබෙනවා.

Discussion & Feedback