ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලේඛිකා ඊ ජීන් කැරොල් ගොනු කර තිබූ ලිංගික අපයෝජන සහ අපහාස කිරීමේ නඩුවේ තීන්දුව වෙනස් කරන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙවන වරටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මීට පෙර ජූනි මාසයේදීත් අධිකරණය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, ට්‍රම්ප්ගේ නීතිඥවරුන් විසින් එය නැවත සලකා බලන ලෙස කළ ඉල්ලීම මෙලෙස නිෂ්ප්‍රභ වුණා. මේ අනුව, කැරොල්ට එරෙහිව ට්‍රම්ප් සිදු කළ ලිංගික අපයෝජනය සහ අපහාස කිරීම සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව දැන් අවසන් එකක් ලෙස සැලකෙන අතර එය තවදුරටත් අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැහැ.
1990 දශකයේදී මැන්හැටන්හි වෙළඳසැලකදී තමන්ට ලිංගික අතවර කළ බවට කැරොල් චෝදනා කර තිබූ අතර, ඒ වෙනුවෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 5ක වන්දියක් ගෙවීමට ද සිදු වුණා. තමන් කිසිදු වරදක් කර නොමැති බවත්, අධිකරණය අසාධාරණ ලෙස සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ දුන් බවත් ට්‍රම්ප් දිගින් දිගටම පවසනවා. කෙසේ වෙතත්, මෙම තීන්දුවෙන් පසු අදහස් දක්වමින් කැරොල් පවසා සිටියේ තමන්ගේ නීතිඥ කණ්ඩායම සහ ලොව පුරා සිටින කාන්තාවන්ගේ සහයෝගය නිසා තමන්ට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවයි. මේ අතර, තවත් වෙනම නඩුවකදී කැරොල්ට ගෙවීමට නියම වූ ඩොලර් මිලියන 83.3ක වන්දි මුදල සම්බන්ධයෙන් ට්‍රම්ප් ගොනු කර ඇති අභියාචනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තවමත් තීරණයක් ගෙන නැහැ.

Discussion & Feedback