සාමාන්යයෙන් අපි දන්න විදිහට කළු කුහරයක් කියන්නේ තමන්ට ළඟින් යන ඕනෑම දෙයක් ආලෝකය පවා ඇදගන්නා අතිවිශාල ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනක්. හැබැයි ජපානයේ ටොහෝකු විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් කරපු අලුත්ම අධ්යයනයකින් පෙන්වා දීලා තියෙනවා මේ කළු කුහරවලින් පිටතටත් අතිවිශාල බලශක්තියක් විහිදුවන බව. විශේෂයෙන්ම සක්රීයව පවතින කළු කුහරවලින් පිටවන මේ සුළං ප්රවාහයන් මීට කලින් විද්යාඥයන් හිතුවාට වඩා සිය ගුණයකින් බලවත් බවයි මේ පර්යේෂණයෙන් තහවුරු වෙලා තියෙන්නේ.
පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ බිලියන 3.4ක් ඈතින් තියෙන ‘H1821+643’ කියන ක්වේසාර් එක නිරීක්ෂණය කරද්දී තමයි මේ පුදුම හිතෙන දේ හොයාගෙන තියෙන්නේ. ජපානයේ XRISM එක්ස්-රේ චන්ද්රිකාව පාවිච්චි කරලා කරපු මේ නිරීක්ෂණවලින් පෙනී ගිහින් තියෙනවා, මේ කළු කුහරයෙන් පිටවන බලශක්තිය ආලෝක වර්ෂ 300,000ක් තරම් ඈතට විහිදෙන බව. මේක හරියට සුපර්නෝවා පිපිරීම් බිලියන ගණනක බලශක්තියක් එකවර පිටවෙනවා වගේ වැඩක්. මේ බලපෑම තමන් ඉන්න මන්දාකිණියෙන් එපිටටත් ගිහින් අවට තියෙන උණුසුම් වායු පද්ධති පවා කැළඹීමට ලක් කරනවා.
මේ කළු කුහරය ගැන තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඒකේ භ්රමණය සාමාන්ය කළු කුහරවලට වඩා හෙමින් සිදුවීම. මේ වගේ දැවැන්ත කළු කුහර කොහොමද මේ තරම් බලශක්තියක් පිට කරන්නේ කියන එක අභ්යවකාශ විද්යාවේ තියෙන ලොකුම ප්රශ්නයක් වෙලා තියෙනවා. කොහොම වුණත්, කළු කුහර කියන්නේ නිකම්ම දේවල් ගිලගන්නා යන්ත්ර විතරක් නෙවෙයි, ඒවා මුළු විශ්වයේම පරිසරයට බලපාන දැවැන්ත ශක්ති ප්රභවයන් බව මේ පර්යේෂණයෙන් පැහැදිලි වෙනවා.

Discussion & Feedback