සාමාන්යයෙන් අපි දන්න විදිහට කළු කුහරයක් කියන්නේ තමන්ට ළඟින් යන ඕනෑම දෙයක් ආලෝකය පවා ඇදගන්නා අතිශය බලගතු ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනක්. හැබැයි ජපානයේ ටොහෝකු විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් කරපු අලුත්ම අධ්යයනයකින් හෙළි වෙලා තියෙනවා මේ කළු කුහරවලින් පිටතටත් අතිවිශාල ශක්තියක් විහිදෙන බව. සතෝෂි යමඩා ප්රමුඛ පර්යේෂක කණ්ඩායම හොයාගෙන තියෙන විදිහට, මේ කළු කුහරවලින් පිටවන සුළං කලින් හිතුවට වඩා සිය ගුණයකින් බලගතුයි. මේවා හරියට බිලියන ගණනක සුපර්නෝවා පිපිරීම්වලින් පිටවන ශක්තියට සමානයි.
පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ බිලියන 3.4ක් ඈතින් තියෙන ‘H1821+643’ කියන ක්වාසාරය නිරීක්ෂණය කරද්දී තමයි මේ පුදුම හිතෙන දේ දකින්න ලැබුණේ. ජපානයේ XRISM එක්ස්-රේ චන්ද්රිකාව පාවිච්චි කරලා කරපු මේ පර්යේෂණයෙන් පේනවා, කළු කුහරයෙන් පිටවන මේ ශක්ති ප්රවාහයන් තමන්ගේ මන්දාකිණියෙන් එළියට ආලෝක වර්ෂ 300,000ක් තරම් දුරකට පැතිරෙන බව. මේක ඇත්තටම අභ්යවකාශයේ සිදුවන ඉතාම බලගතු කම්පනයක්. කළු කුහර කියන්නේ දේවල් ඇතුළට ඇදගන්නා තැන් විතරක් නෙවෙයි, ඒවා අවට තියෙන විශ්වයටත් විශාල බලපෑමක් කරනවා කියන එක මේ පර්යේෂණයෙන් ඉතාම පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා.
මේ කළු කුහරය ගැන තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඒකේ භ්රමණය. සාමාන්යයෙන් මේ වගේ දැවැන්ත කළු කුහර හරිම වේගයෙන් කැරකෙනවා වුණත්, මේ කළු කුහරය කැරකෙන්නේ හරිම හෙමින්. මේකට හේතුව විදිහට විද්යාඥයන් හිතන්නේ වෙනත් කළු කුහර එක්ක සිද්ධ වුණු ගැටුම් නිසා මේකේ භ්රමණය වෙනස් වෙන්න ඇති කියලා. කොහොම වුණත්, මේ සොයාගැනීම අභ්යවකාශ විද්යාවේ අලුත් පිටුවක් පෙරළන්න සමත් වෙලා තියෙනවා.

Discussion & Feedback