අගෝස්තු 25 වෙනිදා සූර්යයාගේ මතුපිටින් ඉතා ප්‍රබල M6.9 මට්ටමේ සූර්ය දැල්ලක් පිටවීමත් සමඟ අභ්‍යවකාශ විද්‍යාඥයන් මේ වන විට දැඩි අවධානයකින් පසුවෙනවා. සූර්යයාගේ 4513 නම් ක්‍රියාකාරී කලාපයෙන් පිටවූ මෙම දැල්ල නිසා පෘථිවිය දෙසට සූර්ය ද්‍රව්‍ය විමෝචනයක් (CME) සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් අප්‍රිකාව, යුරෝපය සහ ආක්ටික් කලාපයේ ගුවන් විදුලි සන්නිවේදනයන්ට සුළු බලපෑම් එල්ල වූ අතර, ඉදිරි දින කිහිපය තුළ පෘථිවියේ චුම්භක ක්ෂේත්රයට මෙහි බලපෑමක් ඇති විය හැකි බවටයි වාර්තා වෙන්නේ.
නාසා ආයතනයේ දත්තවලට අනුව, මෙම සූර්ය ද්‍රව්‍ය විමෝචනය අගෝස්තු 28 වෙනිදා පෘථිවියට ළඟා වීමට ඉඩ තිබෙනවා. මෙය ඉතා වේගවත් එකක් නොවන නිසා විශාල බලපෑමක් බලාපොරොත්තු නොවූවත්, ඒ සමඟම පැමිණෙන අධිවේගී සූර්ය සුළං ධාරාවන් නිසා පෘථිවියේ චුම්භක කුණාටු තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත්, රාත්‍රී අහසේ සුන්දර ‘අරෝරා’ හෙවත් ධ්‍රැවීය ආලෝක රටා දැකගැනීමේ අවස්ථාව උදා විය හැකියි.
කෙසේ වෙතත්, මෙම සූර්ය කුණාටුවේ බලපෑම තීරණය වන්නේ එය පෘථිවියට ළඟා වන වේලාව සහ එහි චුම්භක ක්ෂේත්රයේ දිශානතිය මතයි. විද්‍යාඥයන් මේ පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, ඉදිරි දිනවලදී මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්නට ලැබෙනු ඇති. අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව උනන්දුවක් දක්වන අයට මෙය ඉතා වැදගත් සිදුවීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback