ලොව පුරා සිටින සත්ව ලෝලීන්ගේ ආදරය දිනාගත් සුප්‍රසිද්ධ ‘කිඹුල් දඩයක්කාරයා’ හෙවත් ස්ටීව් ඉර්වින් මියගොස් මේ වන විට වසර විස්සක් ගතවෙලා. ඔහු 2006 වසරේදී මහා බාධක පරයේදී වාර්තා චිත්‍රපටයක් රූගත කරමින් සිටියදී මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා. මේ දුක්බර සිදුවීම සිහිපත් කරමින් ඔහුගේ දියණිය බින්ඩි ඉර්වින් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් සංවේදී සටහනක් තබා තිබෙනවා. ඇය පවසන්නේ තම පියා හුදෙක් සත්ව සංරක්ෂණය වෙනුවෙන් පමණක් නොව, ලෝකය සහ මිනිසුන් කෙරෙහි පවතින ආදරය වෙනුවෙන් විශාල උරුමයක් ඉතිරි කර ගිය බවයි. අදටත් ඇගේ පස් හැවිරිදි දියණිය පවා දිනපතා ස්ටීව්ගේ වාර්තා චිත්‍රපට නරඹමින් තම සීයාට ආදරය කරන බව ඇය ආඩම්බරයෙන් සිහිපත් කරනවා.
ස්ටීව් ඉර්වින්ගේ බිරිඳ වන ටෙරී සහ පුත් රොබට් ඉර්වින් ද මෙම දිනය වෙනුවෙන් තම ආදරණීය පියා සහ සැමියා සිහිපත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබා තිබුණා. විශේෂයෙන්ම ස්ටීව් තමන්ගේ දියණියට ‘බින්ඩි’ යන නම තැබුවේ තමන් වඩාත්ම ප්‍රිය කළ කිඹුලෙකුගේ නමින් බව ඔහු මීට පෙර පැවසූ වීඩියෝවක් ද මේ දිනවල බොහෝ දෙනා අතර හුවමාරු වෙනවා. ස්ටීව් ඉර්වින්ගේ අභාවයෙන් පසු ඔහුගේ පවුලේ අය අදටත් ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක් පවත්වාගෙන යමින් ඔහුගේ සත්ව සංරක්ෂණ මෙහෙවර ඉදිරියටම කරගෙන යනවා. ඔහු ඉතිරි කර ගිය ඒ ආදර්ශමත් ජීවිතය සහ සත්ව ලෝකය වෙනුවෙන් කළ කැපවීම ඉදිරි පරම්පරා ගණනාවකටම ආදර්ශයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback