ලොව පුරා අතිශය ජනප්‍රිය ස්ටාර් ට්‍රෙක් (Star Trek) කතා මාලාව තමන්ගේ 60 වැනි සංවත්සරය සමරන අතරතුර, අලුත්ම විදියක වෙනසකට සූදානම් වෙනවා. දශක ගණනාවක් තිස්සේ අභ්‍යවකාශ ගවේෂණය සහ විද්‍යා ප්‍රබන්ධ කතා තේමා කරගෙන ආ මේ කතා මාලාව, 2027 වසරේදී ‘ස්ටාර් ට්‍රෙක්: ෂැඩෝ ෆ්‍රොන්ටියර්’ (Star Trek: Shadow Frontier) නමින් අලුත්ම ක්‍රීඩාවක් එළිදක්වන්නට නියමිතයි. මෙවර ඔවුන් තෝරාගෙන තියෙන්නේ මීට පෙර කිසිදා නොදුටු ‘සර්වයිවල් හොරර්’ හෙවත් බියකරු පැවැත්මේ අත්දැකීමක්. බ්ලූබර් ටීම් (Bloober Team) විසින් නිර්මාණය කරන මේ ක්‍රීඩාවේදී, ප්‍රධාන චරිතය ලෙස රෝ ලරන් (Ro Laren) නම් හිටපු ලුතිනන්වරියව අපිට දකින්න ලැබෙනවා.
මේ ක්‍රීඩාව සාමාන්‍ය ස්ටාර් ට්‍රෙක් කතා වගේ නෙවෙයි. මෙහිදී රෝ ලරන් හදිසියේම අභිරහස් පිටසක්වල ජීවීන්ගෙන් පිරුණු ග්‍රහලෝකයක අතරමං වෙනවා. ඇයව බේරාගැනීමට සහ ජීවත් වීමට නම් ක්‍රීඩකයන්ට විවිධ ප්‍රහේලිකා විසඳන්නටත්, භයානක සතුරන්ගෙන් බේරී සිටින්නටත් සිදුවෙනවා. ස්ටාර් ට්‍රෙක් ලෝකයේ තිබෙන ට්රයිකෝඩර් සහ ෆේසර් වැනි තාක්ෂණික උපකරණ මෙහිදීත් භාවිතා කරන්න පුළුවන් වුණත්, මුළු ක්‍රීඩාවම ගොඩනැගිලා තියෙන්නේ මනෝවිද්‍යාත්මක බිය සහ අභියෝග මතයි. ස්ටාර් ට්‍රෙක් කතා මාලාව මීට පෙරත් විවිධ පර්යේෂණාත්මක දේවල් කරලා තියෙනවා, නමුත් මේ වගේ බියකරු අත්දැකීමක් ඔවුන්ගේ රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි.

Discussion & Feedback