තුර්කියේ ඉන්න අතිශයින්ම ජනප්‍රිය ස්ටෑන්ඩ්-අප් කොමඩියන් කෙනෙක් වන ඩෙනිස් ගොක්ටාෂ්ව එරට බලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු තමන්ගේ ප්‍රසංගයකදී තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගන් සහ ඉස්ලාමීය ආගමික කරුණු සම්බන්ධයෙන් විහිළු කළා කියන චෝදනාව මත තමයි මේ පියවර අරන් තියෙන්නේ. යූටියුබ් හරහා මිලියන 9.4කට අධික පිරිසක් නරඹපු ඔහුගේ මේ ප්‍රසංගය නිසා ඔහුට එරෙහිව පැමිණිලි 185ක් ලැබිලා තියෙනවා. ඉස්තාන්බුල් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කරලා තියෙන්නේ.
තමන් කිසිම කෙනෙක්ගේ ආගමික හැඟීම් රිදවීමට අදහස් කළේ නැති බවත්, තමන් භාවිතා කළ වචන තුර්කියේ දේශපාලන කතිකාවන් තුළ නිතරම ඇහෙන දේවල් බවත් ගොක්ටාෂ් අධිකරණය හමුවේ ප්‍රකාශ කරලා තියෙනවා. කෙසේ වෙතත්, මේ සිදුවීම තුර්කියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මේක තුර්කියේ මාධ්‍යවේදීන්, දේශපාලන විරුද්ධවාදීන් සහ කලාකරුවන් ඉලක්ක කරගෙන ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළක තවත් එක පියවරක් විතරයි කියලයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට සමගාමීව රට තුළ ආරක්ෂාව දැඩි කර ඇති පසුබිමක, මේ අත්අඩංගුවට ගැනීම සමාජ මාධ්‍ය තුළත් ලොකු විවේචනයකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback