ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය බර මේ වසරේ ජූනි මාසය අවසන් වන විට රුපියල් ට්‍රිලියන 33ක මට්ටමට ආසන්න වී තිබෙනවා. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව, මාර්තු මාසයේදී රුපියල් ට්‍රිලියන 32.2ක්ව පැවති සමස්ත ණය ප්‍රමාණය ජූනි මාසය වන විට රුපියල් ට්‍රිලියන 32.97ක් දක්වා ඉහළ ගොස් තියෙනවා. ඒ කියන්නේ මාස තුනක කාලයක් ඇතුළත රුපියල් බිලියන 744ක පමණ ණය වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලර් අගයෙන් බැලුවොත්, ණය ප්‍රමාණය බිලියන 102.2 සිට බිලියන 97.9 දක්වා අඩුවීමක් දකින්න පුළුවන්.
මේ ණය බරින් වැඩිම කොටසක් එනම් රුපියල් ට්‍රිලියන 31.9ක්ම අයත් වෙන්නේ මධ්‍යම රජයේ ණයවලටයි. ඉන් රුපියල් ට්‍රිලියන 19.2ක් දේශීය ණය වන අතර, විදේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12.7ක් වෙනවා. විදේශීය ණය සම්බන්ධයෙන් ගත්තොත්, චීනය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා ලෙස පවතිනවා. ඔවුන්ට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.01ක්. ඊට අමතරව ජපානයට ඩොලර් බිලියන 2.27ක් සහ ඉන්දියාවට ඩොලර් මිලියන 853.9ක් වශයෙන් ණය ගෙවීමට තිබෙනවා.
රාජ්‍ය ව්‍යවසායන් සඳහා රජය ලබා දී ඇති ඇපකර ණය ප්‍රමාණය රුපියල් බිලියන 971ක් ලෙස වාර්තා වෙනවා. මේ දත්තවලට අනුව, රටේ ආර්ථිකය තුළ ණය බර කළමනාකරණය කරගැනීම තවමත් අභියෝගාත්මක කාරණයක් බව පැහැදිලියි. ඉදිරි කාලයේදී මේ ණය බර පාලනය කරගැනීම සඳහා රජය ගන්නා පියවර මොනවාද යන්න පිළිබඳව ජනතාව දැඩි අවධානයකින් පසුවෙනවා.

Discussion & Feedback