මේ දවස්වල ෆේස්බුක් එකේ අපි දකින ලස්සන කාන්තා ඡායාරූප තියෙන ගිණුම් පිටුපස තියෙන්නේ සැබෑ පුද්ගලයෝ නෙවෙයි කියලා ඔබ දැනගෙන හිටියද? ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව මහතා විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙන්නේ, ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ ව්‍යාජ කාන්තා ගිණුම් ජාලයක් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන බවයි. මේ ගිණුම්වලින් තනිකම, වැන්දඹු බව හෝ ආර්ථික අපහසුතා වගේ දේවල් ගැන සංවේදී පෝස්ට් දාලා මිනිස්සුන්ව රවට්ටනවා. පස්සේ ඔවුන්ව ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි, අසභ්‍ය චැට් සේවා සහ සැක සහිත මූල්‍ය වේදිකා වෙත යොමු කරන එක තමයි මේ ජාලයේ ප්‍රධාන වැඩේ.
මේ පර්යේෂණයට අනුව, ව්‍යාජ ගිණුම් 10ක් පමණක් පරීක්ෂා කළත් ඒවා මගින් පෝස්ට් 1,700කට වඩා පළ කරලා තියෙනවා. මේ පෝස්ට්වලට ලැබිලා තියෙන ප්‍රතිචාර ප්‍රමාණය ලක්ෂ 8කටත් වැඩියි. එකම ආකාරයේ පෝස්ට් සහ විස්තර කිහිපයක් එකවර බෙදාහරිමින් මේ අය ඉතා සංවිධානාත්මකව වැඩ කරනවා. මේ වගේ ජාල ස්පාඤ්ඤ, ඉතාලි සහ මලයාලම් භාෂාවලිනුත් ක්‍රියාත්මක වෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. දේශපාලන බලපෑම් සඳහා මේවා තවම භාවිතා වෙලා නැති වුණත්, අනාගතයේදී මේ වගේ ජාලයක් ඕනෑම නරක වැඩකට යොදාගන්න පුළුවන් නිසා පරිශීලකයන් විදියට අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ.
සාමාන්‍ය කෙනෙක්ට මේ ව්‍යාජ ගිණුම් සහ සැබෑ ගිණුම් අතර වෙනස හඳුනා හඳුනාගන්න එක හරිම අමාරුයි. ෆේස්බුක් එකේ තියෙන පහසුකම්ම පාවිච්චි කරලා මේ අය මිනිස්සුන්ව රවට්ටන නිසා, අමුතු පණිවිඩ එනවා නම් හෝ සැක සහිත ලින්ක් එකක් දකිනවා නම් ඒ ගැන දෙපාරක් හිතලා වැඩ කරන්න කියලා තමයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback