නුවරඑළිය කන්දේඇල අධ්‍යාපනික වනෝද්‍යානයේදී ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 139ක දිගු ඉතිහාසය කියාපාන අලුත්ම කෞතුකාගාරයක් පසුගියදා පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. වන සංරක්ෂණ ජනරාල් එස්.සී. පලමක්කුඹුර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. වන දෙපාර්තමේන්තුව විසින් කාලයක් තිස්සේ භාවිත කළ පැරණි උපකරණ, සිතියම්, නිල ඇඳුම් සහ වටිනා ලේඛන රැසක් මෙහිදී මහජනතාවට දැකගන්න පුළුවන්. අපේ රටේ වනාන්තර ආරක්ෂා කරගැනීමේ වැදගත්කම සහ වන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන අනාගත පරපුර දැනුවත් කිරීම තමයි මේ කෞතුකාගාරයේ ප්‍රධාන අරමුණ වෙන්නේ.
නුවරඑළිය – පට්ටිපොළ පාරේ, කන්දේඇල ජලාශය ආසන්නයේ අක්කර 30ක පමණ භූමි ප්‍රදේශයක මේ වනෝද්‍යානය පිහිටලා තියෙනවා. මෙතැනට යන ඕනෑම කෙනෙකුට අපේ රටේ කඳුකර වනාන්තරවල තියෙන සුන්දරත්වය, දුර්ලභ ශාක, පක්ෂීන් සහ සමනලුන් වගේම විවිධ සතුන් දැකගන්න පුළුවන්. පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය නංවාලීම සහ ජනතාවගේ දායකත්වය ඇතිව වනාන්තර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් විදිහට මේ ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. මේ හරහා රාජ්‍ය ආදායම වැඩි කරගන්නත්, ස්වභාවික පරිසරය ආශ්රිත සංචාරක අවස්ථා පුළුල් කරන්නත් අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. ඉතින් නුවරඑළිය පැත්තේ යන ඔබට මේ අලුත් අත්දැකීම විඳගන්න දැන් අවස්ථාව තියෙනවා.

Discussion & Feedback