දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා චෙන්නායි නුවරදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේ මහතාව හමුවී තිබෙනවා. තමිල්නාඩු රජයේ ලේකම් කාර්යාලයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ. එහිදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් ලිඛිත සංදේශයක් ද මහ ඇමතිවරයා වෙත භාර දී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ දෙන දේශපාලන සහ මානව හිමිකම් ගැටලු පිළිබඳවයි. විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ස්වෛරීභාවය පිළිගන්නා ෆෙඩරල් දේශපාලන විසඳුමක අවශ්‍යතාවය සහ අතීතයේ සිදුවූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම ගැන පොන්නම්බලම් මහතා මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා. මීට අමතරව, ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයින් මුහුණ දෙන ගැටලු මෙන්ම ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ගේ අනාගතය පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුවී තිබෙනවා.
මෙම හමුව සඳහා හිටපු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, පොන්නතුරෙයි අයිංගරනේසන්, කේ.වී. තවරසා ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී සිටියා. දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක ධර්මලිංගම් සුරේෂ්, ප්‍රකාශක කනගරත්නම් සුකාෂ් සහ ප්‍රතිපත්ති ලේකම් නඩරාජා කන්දීපන් යන අයද මෙම නියෝජිත පිරිසට ඇතුළත්. දෙමළ ජනතාවගේ ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් මෙම හමුව ඉතා වැදගත් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback