සෞදි අරාබියේ මරණ දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සිවරාස අනුජන් මහතාට සමාව ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන පහක් එක්ව සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, දකුණු ආසියානු කාන්තා මාධ්‍යවේදිනියන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා වෘත්තීය පත්රකලා ශිල්පීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය යන සංවිධාන එක්ව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙනවා. සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාපටිපාටියට ගරු කරන අතරම, මානුෂීය පදනම මත අනුජන් මහතාගේ ජීවිතය බේරා දෙන ලෙස ඔවුන් සෞදි පාලනාධිකාරියෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
මෙම මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ ඉස්ලාම් දහමේ උගන්වන දයාව, කරුණාව සහ සමාව දීමේ ගුණය සිහිපත් කරමින් මෙම තරුණයාට යළි තම පවුලේ අය වෙත යාමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් නියෝජනය කරන මාධ්‍යවේදීන් ලෙස ඔවුන් අවධාරණය කරන්නේ, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම තීරණය ඉවහල් වනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී කටයුතු කරමින් සිටින අතර, අනුජන් මහතාගේ ජීවිතය බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස මෙම සංවිධාන රජයෙන් ද ඉල්ලා සිටිනවා.

Discussion & Feedback