ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න සහ නවීන තාක්ෂණය ගැන දැනුවත් වෙන්න අපේ රටේ කිරි ගොවීන් දහනව දෙනෙක් ඉන්දියාවට යන්න සූදානම් වෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය මතයි. ගොවීන් මේ ගමනට එකතු වෙන්න කලින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමුවෙලා සාකච්ඡා කළා. මේ ගොවීන් පිරිස අගෝස්තු 16 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යන්න නියමිතයි.
මේ පුහුණුව ලබා දෙන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේදීයි. ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධම කිරි සමුපකාර ආයතනයක් වන ‘අමුල්’ ආයතනයේ වැඩකටයුතු නිරීක්ෂණය කරන්නත් අපේ ගොවීන්ට අවස්ථාව ලැබෙනවා. කිරි ගොවිපළ කළමනාකරණය, පෝෂණය, නව තාක්ෂණය සහ කිරි නිෂ්පාදන වටිනාකම් දාමය වර්ධනය කරගන්නා ආකාරය ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය වන පරිදි තමයි මේ ගොවීන් තෝරාගෙන තියෙන්නේ.
මේ වැඩසටහන මේ පිරිසට විතරක් නෙවෙයි, ඉදිරියේදී තවත් කිරි ගොවීන් කණ්ඩායම් කිහිපයකටම ඉන්දියාවේදී මේ වගේ පුහුණුවක් ලබා දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා තියෙනවා. මේ වගේ වැඩසටහන් හරහා අපේ රටේ කිරි නිෂ්පාදනය ඉදිරියේදී විශාල දියුණුවක් ලබයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback