මැලේසියාවේ ජෙන්ජාරොම් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවකට බලහත්කාරයෙන් වැඩ ගත් බව කියන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මැලේසියානු බලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරු සහ පැමිණිලි මත සිදුකළ විශේෂ වැටලීමකදී තමයි මේ සැකකරු කොටුකරගෙන තියෙන්නේ. මොහු මැලේසියානු ජාතික කාන්තාවක් විවාහ කරගෙන එරට දිගුකාලීන වීසා බලපත්‍රයක් මත පදිංචිව සිටින අයෙක් බවත් වාර්තා වෙනවා.
මෙම වැටලීමේදී බලහත්කාරයෙන් වැඩ ගත් බව කියන ශ්‍රී ලාංකික කාන්තාවකව බේරා ගැනීමට බලධාරීන් සමත් වුණා. ඇයව රැකියාවක් සහ වැඩ බලපත්‍රයක් ලබා දෙන බව පවසා මැලේසියාවට ගෙන්වාගෙන, පසුව වැටුප් නොගෙවා ආහාර පවා නිසි ලෙස ලබා නොදෙමින්, ශාරීරික හිංසනයට ලක් කරමින් ආහාර අලෙවිසැලක වැඩ ගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වෙලා තියෙන්නේ. ඇයව මේ වන විට මානව ජාවාරම් විරෝධී මාර්ගෝපදේශ යටතේ ආරක්ෂිතව රඳවාගෙන ඉන්නවා.
මීට අමතරව, එම ස්ථානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් නීත්‍යානුකූල ගමන් බලපත්‍ර නොමැති වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව මැලේසියාවේ මානව ජාවාරම් සහ ආගමන විගමන පනත් යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට එරට බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි මිනිස් ජාවාරම් සහ බලහත්කාරයෙන් වැඩ ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරියටත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback